වසර 20කට පසු මත්කුඩු නඩුවෙන් කත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

වසර 20කට පසු මත්කුඩු නඩුවෙන් කත නිදහස්

වසර 20කට පසු මත්කුඩු නඩුවෙන් කත නිදහස්

කහකුඩු ඇසුරූ ටින් 50ක් තුළ සඟවා ඉන්දියාවේ සිට ලංකාවට රුපියල් කෝටි 1/2ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට වසර 20කට පෙර අධිචෝදනා ලබා 20 වසරක දීර්ඝ නඩු විභාගයකට පෙනීසිටි වයෝවෘද්ධ කතකට එරෙහි එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත්වීම හා සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ඇති වූ පරස්පරතාවයත් සැලකිල්ලට ගත් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී. පී. පී. රත්නායක මහතා එම විත්තිකාරිය නඩුවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට පසුගිය 26 වනදා නියෝග කළේය.

 

නිදහස ලැබූ විත්තිකාරිය වූයේ වත්තල මාබෝලේ පදිංචි මොහොමඩ් ෆවුසුල් මොහොමඩ් හිනායා නමැති 64 හැවිරිදි කතයි. 

 

හෙරොයින් ග‍්‍රෑම් 234ක් ආනයන කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇය අධිචෝදනා ලබා සිටියාය. 

 

ඉන්දියාවේ සිට පැමිණි ඇය කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පැමිණිල්ලෙන් අනාවරණය වූ කරුණු අනුව විත්තිකාරියගේ සැමියා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ ඉන්දියාවේ සිරගතව සිටී. 

 

ඇය සැමියා බැලීමට ඉන්දියාවට ගොස් ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී කිසිවෙකු විසින් ඇයට ලංකාවේ සිටින ඔහුගේ ඥාතියෙකුට භාරදීමට යැයි පවසා හෙරොයින් සඟවා සකස් කළ කහකුඩු ටින් තොගය භාරකළ බව ඇය ප්‍රකාශ කර ඇත. 

 

නඩු විභාගයේදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ පි‍්‍රයන්ත ජනකසිරි සම්පායෝ මහතා පැමිණිල්ලෙන් ඇසූ හරස් ප්‍රශ්නවලට සාක්ෂිකරුවන් පරස්පර ලෙස සාක්ෂි ඉදිරිපත් කිරීමත් කහකුඩු ටින් තුළ හෙරොයින් සඟවා ඇති බවට ඇය තුළ දැනුමක් නොතිබීමත් ඇයට නිදහස ලැබීමට හේතු විය. 

views

776 Views

Comments

arrow-up