වරෙන්තුකරුවන් අල්ලන්න ගිය පොලිසියට කාන්තාවන් පහර දීලා - නිලධාරීන් දෙදෙනෙක් රෝහලට

වරෙන්තුකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට, තියුණු ආයුධ වලින් හා ගල් මුගුරුවලින් පහරදී තුවාල සිදුකර එම වරෙන්තුකරුවන් දෙදෙනා මුදාගත් කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත්, පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් ඔයාමඩුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඔයාමඩුව වන්නිහැලඹෑව, වැල්මල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ ප්‍රධාන සැකකරුගේ 14 හැවිරිදි දියණිය බව පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා, අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇතැයි ඔයාමඩුව පොලිසිය කියයි.
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ඔයාමඩුව, වැල්මල්ගම, ප්‍රදේශයේ පියකු සහ පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම ප්‍රහාරය එල්ල වූ බව පොලිසිය කියයි.
මෙහිදී ප්‍රධාන වරෙන්තුකරු සහ ඔහුගේ පවුලේ ඥාතී කාන්තාවන් පිරිසක් විසින් උදැල්ලකින් , පොරවකින් සහ ගල් මුගුරු වලින් පොලිස් නිලධාරීන්ට පහරදී මෙලෙස තුවාල කර තිබූ අතර, එම අවස්ථාවේදී වැටලීම් භාර නිලධාරියා වන උප පොලිස් පරීක්ෂක ජයවික්‍රම මහතා අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වා ගෙන තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රෝහල් ගතකළ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් තිදෙනා අයුතු ජනරාශීව සිටිමින් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් සැකකාරියන් දෙදෙනකු ලබන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකාරියක් ඇප මත මුදා හැරි බව පොලිසිය පවසයි.
151 Views
Comments