රුමේනියාවේ සිහින පෙන්වා මුදල් වංචා කළ කතට ලැබුණු දඩුවම

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් අප්‍රේල් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
මාළිගාවත්ත - ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැඟවී සිටි කාන්තාවක්ව පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
විදේශ රැකියා ලබා දීම සඳහා අදාළ සැකකාරිය බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබේ.
රුමේනියාවේ ක්ෂේත්‍ර කිහිපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇත.
නමුත් තමන්ට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී ඇත.
සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයින් 88 දෙනෙකු ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණෙන ලෙස විමර්ශන නිලධාරීන් ඇයට දන්වා තිබුණ ද ඇය විමර්ශන නිලධාරීන් ඉදිරියේ පෙනී නොසිට සැඟවී සිට ඇත.
මෙම වංචාවට සම්බන්ධ බව කියන සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමණාකරු සහ තවත් අයෙකුව ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
225 Views
Comments