කැනඩාවේ සිය නිවසේදී ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ධනුෂ්ක සුව අතට

කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ධනුෂ්ක වික්‍රමසිංහ අද (15) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබේ.
මේ අතර, ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ ඔටාවා සමූහ ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික තරුණයා ඔටාවා අධිකරණය හමුවට දෙවැනි දිනටත් ඉදිරිපත් කෙරුණි.
දුරකථනය ඔස්සේ සැකකරු අධිකරණය හා සම්බන්ධ වූ අතර නඩු විභාගය පැවතියේ විනාඩි 4ක කාලයක් පමණයි.
කැනඩා මාධ්‍ය වාර්තා කළේ, මූලික විමර්ශනවලදී ඔටාවා පොලිස් නිලධාරීන්ට වැරදුණු වින්දිතයින්ගේ නම්වල දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණත් චෝදනාවල කිසිදු සංශෝධනයක් සිදුව නොතිබූ බවය.
මෙම නඩුව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටියත් සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට රැගෙන ආවේ නැහැ.
ඔහු නීති කෘත්‍යයට සම්බන්ධ වූයේ දුරකථනය ඔස්සේය.
මේ වන විට ඔටාවාහි කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පළමුවෙන් අධිකරණය හමුවේ තම අනන්‍යතාව ප්‍රකාශ කළේය.
නමුත්, සිය නම සහ උපන්දිනය කෙඳිරිලි හඬින් පවසද්දී, විශෝධන නිලධාරියා ඔහුට පවසා තිබුණේ, එය පැහැදිලිව උස් හඬින් පවසන ලෙසය.
සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාට සාපරාධි මිනිමැරුම් චෝදනා 06ක් සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවක් එල්ලව තිබුණත්, මෙම කිසිදු චෝදනාවක් ඊයේ (14) අධිකරණය ඉදිරියේ යළි කියවා නැත.
සය පුද්ගල ඝාතනයේ දෙවැනි දින නඩුව මිනිත්තු හතරකට සීමා වූ අතර, යළි නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වෙනු ඇත.
නීති කෘත්‍යයෙන් පසු අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටි මාධ්‍යවේදීන් විත්තිකරුගේ මානසිකත්වය නඩුවේදී නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරන්නේද සහ සිදුවු දේ ගැන ඔහුට අවබෝධයක් තිබේදැයි විත්තියේ නීතිඥවරයාගෙන් කළ විමසීමේදී ඔහු ඊට පිළිතුරු ලබාදී නැත.
විත්තියේ නීතීඥ එවන් ලයිට්ල්,
"ඔහු ආරක්ෂිත රැඳවූම් භාරයේ සිටින්නේ. ඔහු එහි හොඳින් සිටිනවා. මම ඔහු වීඩියෝ මාර්ගයෙන් මෙන්ම පුද්ගලිකවත් හමුවුණා."
ප්‍රශ්නය - සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් තියෙනව ද?
"සමාවන්න, මට ඊට පිළිතුරු ලබාදෙන්න බැහැ. මම ඔහුගේ පවුලේ අය සම්බන්ධ වුණා. ඔවුන් මේ පිළිබඳ දැඩි කනගාටුවකින් ඉන්නේ."
කෙසේවෙතත් කැනඩා නීතී විශාරදයින් පවසන්නේ සැකකරුගේ මානසික තත්ත්වයේ ඇගයීමක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවය.
ඔටාවා සරසවියේ නීති අංශයේ, මහාචාර්ය ඩැෆේන් ගිල්බර්ට්,
"මේ අපරාධ සිද්ධියේ ස්වභාවය සැලකූවිට සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ කැපීපෙනෙන ඇගයීමක් සිදුකිරීම අවශ්‍ය යැයි පෙනී යනවා. මෙහි සංකීර්ණ බව සැලකූ විට එවැන්නක් සිදුකිරීම අත්‍යවශ්‍යයි. එසේ සම්පූර්ණ වාතාවරණය හෙළිදරව් කරගැනීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකියි."
මේ අතර ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සමාජිකයින්ගේ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට නියමිතය.
274 Views
Comments