කුරියර් වෙසින් ආ කොල්ලකරුවෝ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කා පළා යති

තියුණු පිහි රැගත් කොල්ලකරුවන් දෙදෙනෙකු ගම්පොළ පුස්සැල්ලාව නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පහළොස් හැවිරිදි දියණියගේ අත්පා ගැට ගසා නිවසේ තිබූ රුපියල් එක්කෝටි පන් ලක්ෂ හැටදහසක මුදල් හා රන් භාණ්ඩ සමඟ තවත් ගණනය නොකර උරයක දමා තිබූ විශාල මුදල් ප්‍රමාණයක් කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පුස්සැල්ලාව නගරයේ විශාල ලෙස තොග හා සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යනු ලබන පලනියන්ඩි සුබුමනියම් යන අය මේසම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මොහුගේ එක් දරුවකු කැනඩාවෙත් තවත් දරුවෙකු ඉන්දියාවෙත් අධ්‍යාපනය හදාරන අතර නිවසේ සිටින පහළොස් හැවිරිදි මෙම දියණිය මහනුවර පාසලක අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි. අලුත් අවුරුදු සමයත් සමඟ ඔහුගේ වෙළඳසැල් රාත්‍රී වනතුරු විවෘතව තබන අතර පෙරේදා දින රාත්‍රී අටට පමණ මොහුගේ බිරිඳ නිවසේ සිට මෙම වෙළඳසැලට පැමිණ ඇත්තේ සැමියාගේ බෙහෙත් වේල හා ආහාර ගැනීම සඳහා ඔහු නිවසට යැවීමේ අරමුණෙනි. ඒ අතර දියණිය පමණක් නිවසේ සිට ඇති අතර මංකොල්ලකෑමට පැමිණි තරුණයන් දෙදෙනා එම නිවසේ දොරට තට්ටු කර දියණියට පවසා ඇත්තේ තමන් කුරියර් සේවයකින් පැමිණ ඇති බවත් භාණ්ඩ වගයක් ලබාදීම සඳහා දොර විවෘත කරන ලෙසත්ය. එම දියණිය නිවසේ කැමරාවෙන් ඒ පිළිබඳව බලා දොර විවෘත කර ඇති අතර නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් බයින්ඩින් කම්බි යොදා එම දියණියගේ අත්පා ගැටගසා ඇත.
මේ අතරතුර මෙම කෝටිපති ව්‍යාපාරිකයාද ආහාර ගැනීමේ අරමුණින් නිවසට පැමිණ ඇති අතර මෙම සිද්ධිය දැක ඔවුන් සමඟ පොර බැදුවද කොල්ලකරුවන් දෙදෙනා මෙම ව්‍යාපාරිකයාද අල්ලා කම්බිවලින් අත් පා බැඳ නිවසේ කාමරයකට දමා දොර ගුළුලා තිබේ. පසුව මොවුන් නිවසේ තිබූ රන් පවුම් 55 ක් හා මුදල් රුපියල් පන්ලක්ෂ හැට දහසක් හා ගණන් නොකර තවත් බෑගයක දමා තිබූ විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන නිවසේ ඉදිරිපස දොරද අගුළු දමා පැනගොස් තිබේ.
මේ අතර නිවසේ ඉදිරිපස සාලයේ බැඳ දමා සිටි දියණියත් කාමරයේ සිටි ව්‍යාපාරිකයාත් බොහෝ උත්සාහ ගනිමින් සිය බැමි ලිහාගෙන තිබේ. නමුත් දොරවල් අගුල් දමා තිබූ නිසා එළියට පැමිණීමට නොහැකිව සිටියදී ව්‍යාපාරිකයා ළඟ තිබූ යතුරු කැරැල්ලේ නිවසේ ඉදිරිපස යතුර තිබී එය කාමරයේ වසා ඇති දොර යටින් දියණියට ලබාදී තිබේ. ඇය එම දොර හැර වෙළඳසැලට ගොස් මව හා පිරිස කැඳවීමෙන් පසු ඔවුන් කාමරයේ දොර කඩා ව්‍යාපාරිකයා පිටතට ගෙන තිබේ. මංකොල්ලකරුවන් දෙදෙනා මෙම නිවසට පැමිණෙන අයුරු හා මුදල් බෑග් හතරක් රැගෙන නැවත යන අයුරු නිවසේ කැමරාවල සටහන්ව තිබේ. මොවුන් පුස්සැල්ලාව නගරයේ සිට නුවරඑළිය මාර්ගයේ නවකඩදොර ප්‍රදේශය දක්වා ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අයුරු පොලිසිය සොයාගෙන ඇති මුත් ත්‍රී රෝදකරු පවසා ඇත්තේ තමං හයර් එකක් ගිය බවත් වෙන කිසිවක් නොදන්නා බවත්ය. මේ පිළිබඳව පැති කීහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
146 Views
Comments