කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල කණ්ඩායමට ගන්නැයි කිරිඇල්ල ඉල්ලයි

20 - 20 ලෝක කුසලාන තරඟමාලව තුළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියම් ලෙස දැනට තරඟ තහනමක් පනවා තිබෙන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
අද(08) පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව විමසූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ අදාළ තීන්දුව සම්බන්ධව පළමුව සලකා බැලූ කාරණය විනය වන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා පසුගිය එංගලන්ත සංචාරයේදී ජෛව බුබුළු නීතිරීතීන් උල්ලංගණය කිරීම නිසා මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටී.
එම ක්‍රිඩකයින්ට ඊට අමතරව දඩ මුදල්ද පනවනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :-
මගේ ප්‍රශ්නෙ තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවනම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමත් ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතාම අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තියෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයකුත් නියම කළා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා :-
ගරු මන්ත්‍රීතුමනි, ඔබට තේරෙනවා ඇති, විනය තමයි අංක එක. ඔබ දන්නවා විනය නිසිපරිදි පවත්වා ගෙන යාමට නොහැකි වීමෙන් ඔබේ පක්ෂයට වෙච්ච දේත්. එය මගේ ජාතික කණ්ඩායමට සිදුවෙන්න දෙන්න මට අවශ්‍ය නැහැ. අපි විනයානුකූල පියවර අරන් තියෙනවා. පාලක මණ්ඩලය මේ සම්බන්ධව කමිටුවක් පත්කරලා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. තීන්දුව ලබා දීලා තිබෙනවා. ඔවුන්ට දේශීය තරඟ සඳහා සහභාගී වෙන්න පුළුවන් කාලය අවසන් වුණාම. එල්පීඑල් තරඟ සඳහා එක්වන්නත් පුළුවන්. වසරකින් පසු ජාත්‍යන්තර තරඟ සඳහා එක්වන්නත් පුළුවන්.
771 Views
Comments