පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන නව්ෆර් මව්ලවි ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු මුදාහරින බවට පවසා ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු, ගෙපලමුල්ගෝල, උහුමීය ප්‍රදේශයේ පදිංචි ගෝනදූවගේ දොන් සමන් බුද්ධික නම් 42 හැවිරිදි මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ඔහු මීට පෙරද මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයෙකි.

 

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම පුද්ගලයාව පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ ගල්ගමුව,තේක්ක වත්ත ප්‍රදේශයේදීය.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නව්ෆර් නොහොත් නව්ෆර් මව්ලවි සැලකෙන්නේ සහරාන් හෂිම්ගේ න්‍යායාචාර්යවරයා ලෙසය.

 

සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් නව්ෆර් මව්ලවිගේ බිරිඳගෙන්, ඇයගේ සැමියා සහ මොහොමඩ් ඊබ්‍රහිම් අබ්දුල්ලා නම් සැකකරු නිදහස්කරන බවට පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන තිබූ බව අනාවරණය වී තිබේ.

 

එලෙස ලබාගත් මුදල රුපියල් 1,810,000කි.

 

එමෙන්ම සැකකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන ලද ෆාතිමා රිකාසා නම් සැකකාරිය නිදහස් කරන බවට පවසමින් ඇයගේ ඥාතියෙකුගෙන් ද රු.318,000ක මුදලක් ලබාගෙන තිබේ.

 

එමෙන්ම පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි සැකකරුවෙකු වන මොහොමඩ් සියාම් මොහොමඩ් ශිම්ෂාඩ් යන පුද්ගලයාව මුදවා හැරීම සඳහා එම සැකකරුගේ බිරිඳගේ සහෝදරයා වන මොහොමඩ් සිෆ්රාන් මොහොම්මදු සියාම් යන අයගෙන් ද රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා පසුව ලක්ෂ 12කට එකඟ වී ඉන් රුපියල් ලක්ෂ 04ක් ලබාගෙන ඇත.

 

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මුදල ලබාදුන් මොහොම්මදු සියාම් යන පුද්ගලයා විසින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදීය.

 

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන්ගේ තොරතුරු ලබාගත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකුගෙන් බවය.

 

රිමාන්ඩ් භාරයෙන් නිදහස් වූ එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන් වෙත තමන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු ලෙස හඳුන්වාදී තිබේ.

 

ඒ හරහා රක්ෂිත බන්ධනාගාරගත වුවන් නිදහස් කිරීමට හැකියැයි පවසා ඔවුන්ගේ ඥාතින්ගෙන් මුදල් ලබාගත් බව අත්අඩංගුවේ සිටින සැකකරු පවසා ඇත.

 

ඒ අනුව මේ වනවිට තොරතුරු ලබාදුන් අදාළ පුද්ගලයා සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

views

633 Views

Comments

arrow-up