දින 10කට පසු සිරි දළදා වන්දනාව නිමාව දකී

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27) අවසන් වුණි.
අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වූ අතර සවස 5.30 දක්වා වූ කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවුණි.
"සිරි දළදා වන්දනාවට" මහනුවරට ගෙවුණු දින දහය තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණි අතර, අව් වැසි නොතකමින් කිලෝමීටර් ගණනාවක් පුරා දිගු වූ පෝලිම්වල රැඳී සිටිමින් සැදැහැවතුන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට එක්ව සිටියහ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට වසර 16කට පසුව වරම් ලබාදෙමින් "සිරි දළදා වන්දනාව" ඇරඹුණේ පසුගිය අප්‍රේල් 18 වෙනිදාය.
ඒ අනුව ගෙවුණු දින 10ක කාලය පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේ දිගු පෝලිම්වල රැඳී සිටිමිනි.
එසේම, ඊයේ (26) දිනයේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට නොහැකිවූ සැදැහැවතුන් එහි රැය පහන් කළේ අද අවසන් දිනයේදී හෝ දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමේ අපේක්ෂාවෙනි.
ඊයේ රාත්‍රියේ සිට පෝලිම්වල සිටි සැදැහැවතුන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ස්ටිකරයක් ලබාදී තිබුණි.
148 Views
Comments