වැස්ස එක්ක එන ලෙඩ වලින් පරිස්සම් වෙන්නෙ මෙහෙමයි.

මාස ගණනාවක් සිටම පැවැති අධික උණුසුම් කාලගුණය නිමා කරමින් ඉකුත් සතියේ සිට අපේ රටේ විවිධ පළාත්වලට වැසි වැටීම ඇරැඹිණි.
එක දිගට වැසි තත්ත්වය පැවැතීමේදී දැනෙන අධික සීතල නිසා කුඩා දරුවන් බහුලව සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝගවලට මේ දිනවලදී වැඩිපුර ගොදුරු වේ. ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ යනාදී රෝග අයත් වන අතර වැසි ඇරැඹුමත් සමග මෙකී රෝග ව්‍යාප්තිය ඉක්මන් කෙරේ.
වැසි තත්ත්වය නොකඩවා පැවතීමෙන් ඇති වන අධික සීතල නිසා බිළිඳු දරුවන් මේ අවදියේදී ළමා හතිය රෝගයෙන් පෙළීම වැඩි විය හැකිය. ඒ අතරට කොවිඩ් වැළඳුණු ළමයින්ගේ පෙනහලු දුර්වලතාව හා කාලයක් තිස්සේ පැවැති කැස්ස සුව නොවීම නිසාවෙන්ද ළමා හතිය තත්ත්වයට පහසුවෙන්ම ගොදුරු වීමට හැකිය.
හතිය රෝගීන්ගේ රෝගී තත්ත්වය මත නිබියුලයිසිස් ප්‍රතිකාරය සේම ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමද වෛද්‍යවරු විසින් නිර්දේශ කෙරේ. ඒවගේම කලක් සිට හතිය රෝගයට ගොදුරුව සිටි අයකු නම් තමාගේ රෝගී තත්ත්වය මේ කාලයේදී උත්සන්න වීමට ඉඩ නොතබා වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව රෝගය පාලනය කර ගත හැකිය.
ළමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍යයෙන් ඇඳුම් දෙකක්වත් ඇන්ද වීම සුදුසුය. එමෙන්ම වැහි කබායක්, කුඩයක් හෝ තොප්පියක්ද පැළඳීමට දරුවාට කියා දිය යුතුය.
මේ අතර වැසි කාලයේදී රටේ ඇතැම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වය ඇති වේ. ගං වතුර ගැලීමත් සමඟ පිරිසුදු පානීය ජල ප්රශ්නය බරපතළ ගැටලුවකි. එවන් ප්‍රදේශවල ජනතාවට පානය කිරීමට පිරිසුදු ජලය, පිරිසුදු සහ උණුසුම් ආහාර නොමැතිකම නිසාවෙන් තවත් රෝග ගණනාවකටම ගොදුරු වීමට පිළිවන. ඒ අතර පාචනය, අතීසාරය වැනි රෝගවලට පහසුවෙන්ම ගොදුරු විය හැකිය.
මේ රෝගී තත්ත්ව ඇති වීමට අපිරිසුදු ආහාර මෙන්ම අපිරිසුදු ජලය, දෑත් පිරිසුදු නොවීම, නිසි ලෙස ආහාර වසා නොතිබීමෙන් මැස්සන් ආහාර මත වැසීම වැනි කරුණු හේතු වීමට පුළුවන.
ඒ වගේම මේ දිනවල පිටතින් ආහාර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ඒ වෙනුවට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර අනුභවය හොඳම ක්‍රමවේදය ය. නිවසේ පිළියෙළ කළද මඳ රස්නය තිබියදී අනුභව කිරීමට පුරුදු විය යුතුය.
වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් සිදු වේ. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය , අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක්ද ඇති විය හැකි අතර එය මී උණ රෝගයට අවදානමක් එක් කරයි.
22545 Views
Comments