ගුවනින් ගෙන්වූ කෝටි 21ක කෘතිම ගංජා ජාවාරම හසුවූ හැටි

කුඩු වශයෙන් සකස් කළ රුපියල් කෝටි 21 ක් වටිනා කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනකු ද කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 26 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.
26 වැනිදා හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.
මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යෑමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ, මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කළ අතර, එහිදී කිලෝ ග්‍රෑම් 33 ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයා ගෙන මෙම පුද්ගලයන් ද සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසුව ඔවුන්ගෙන් ලද වැඩිදුර තොරතුරු මත, මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ‘ශබ්ද වාහිනී’ පද්ධති අලෙවි කරන වෙළෙඳ සලක් තුළ තිබී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100 ක් පමණ අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි.
ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම කෘතිම මත්ද්‍රව්‍ය කුඩු, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සාද පවත්වන අවස්ථාවලදී භාවිත කිරීම සඳහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
167 Views
Comments