කම්හල් තාප්පයෙන් හොරෙන් පනිද්දී එය කඩා වැටී සේවකයාට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

කම්හල් තාප්පයෙන් හොරෙන් පනිද්දී එය කඩා වැටී සේවකයාට දිවි අහිමි වෙයි

කම්හල් තාප්පයෙන් හොරෙන් පනිද්දී එය කඩා වැටී සේවකයාට දිවි අහිමි වෙයි

අතුරුගිරිය, ඔරුවල වානේ සංස්ථා පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කරද්දී කඩා වැටුණු ආරක්ෂිත තාප්පයට යට වී පුද්ගලයෙකු (18) ද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි. 

 

මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල හුඹස්වලාව ජනපදය, නො, D / 28 /04 හි පදිංචි පෙරුම්බඩගේ ඉෂාර මධුෂාන් විජය රත්න නමැති (24) හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය කියයි.

 

මෙම පුද්ගලයා ඔරුවල වානේ සංස්ථාවේ සේවයේ නිරත කම්කරුවකු වන අතර ඔහු වානේ සංස්ථාව ඇතුළත පිහිටි නවාතැන් පළක වාසය කර ඇතැයි පැවසේ.

 

ඒ අනුව ඉකුත් 17 දා දෛනික සේවාව නිමවා මිතුරකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට ගොස් සාදය අවසන් වී මිතුරන් දෙදෙනකු සමග ත්‍රීරෝද රථයකින් රාත්‍රී 2.30 පමණ යළි පැමිණ සංස්ථාවේ ආරක්ෂක අංශයට නොදැනෙන සේ වානේ සංස්ථාවේ පිටුපස තාප්පයෙන් පැන ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.



එම අවස්ථාවේ දී මාර්ගයේ සවිකර තිබූ ඉණිමගක හැඩය සහිත විදුලි කණුවකින් ඉහළට නැග අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පයකින් පැන කර්මාන්ත ශාලාව තුළට ඇතුළු වීමට යාමේදී එම තාප්පය කඩා වැටීමත් සමග ඊට යට වී එම පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

 

එක්වරම අධික ශබ්දයක් ඇසීමත් සමග ත්‍රිරෝද රථයෙන් පැමිණි මිතුරන් ඒ දෙස විමසා බැලීමේදී තාප්පය කඩා වැටී ඊට මිතුරා යටවී ඇති අයුරු දැක පසුව ඒ බව ආරක්ෂක අංශයට දන්වා පොලීසිය දැනුවත් කර තිබේ.

 

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කොට තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට කැඳවා ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය.

 

මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අද (19) සිදු කිරීමට නියමිතය. සිද්ධිය වූ ස්ථානයේ තාප්පය කඩා වැටීමෙන් මෙම මරණය සිදු වූවා ද නැතහොත් වෙනත් ආකාරයකින් සිදු වූ මරණයක් ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

views

533 Views

Comments

arrow-up