“බෝඩිම්වල නිකං චාටර් වෙවී ඉන්නකොට අතහරින්න හිතුන වාර අනන්තයි” - රෙබෙකා දිල්රුක්‍ෂි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

“බෝඩිම්වල නිකං චාටර් වෙවී ඉන්නකොට අතහරින්න හිතුන වාර අනන්තයි” - රෙබෙකා දිල්රුක්‍ෂි

“බෝඩිම්වල නිකං චාටර් වෙවී ඉන්නකොට අතහරින්න හිතුන වාර අනන්තයි” - රෙබෙකා දිල්රුක්‍ෂි

නමින් රෙබෙකා දිල්රුක්ෂි වූ ඇයත් සමගයි අද දවසේ කතාබහ.

 

 

මේ දවස්වල රංගන වැඩකටයුතු එහෙම කොහොමද?

 

මේ දවස්වල සිවගුරුනාදන්ගේ රාග, පැබ්ලෝ, ටෙලිනාට්‍ය දෙකේ වැඩ. ඊට අමතරව සසංකාරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඔය අතරේ වේදිකා නාට්‍යයක් රැගෙන ඔස්ටේ්‍රලියාව බලා යෑමට නියමිතයි. චිත්‍රපට දෙකක රූගත කිරීම් ආරම්භ කෙරෙනවා.

 

 

මේ දවස්වල රංගන වැඩකටයුතු එහෙම කොහොමද?

 

මේ දවස්වල සිවගුරුනාදන්ගේ රාග, පැබ්ලෝ, ටෙලිනාට්‍ය දෙකේ වැඩ. ඊට අමතරව සසංකාරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඔය අතරේ වේදිකා නාට්‍යයක් රැගෙන ඔස්ටේ්‍රලියාව බලා යෑමට නියමිතයි. චිත්‍රපට දෙකක රූගත කිරීම් ආරම්භ කෙරෙනවා.

 

 

රාග ටෙලිනාට්‍යයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

 

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක වෙනස් චරිතයක්. මෙතෙක් මම කරපු නැති විදිහේ චරිතයක්. මිනිස්සු මගෙන් බලාපොරොත්තු නොවුණ විදිහේ චරිතයක්. ඒක මට පොඩි අභියෝගාත්මක චරිතයක්.

 

 

සසංකාරා කියන්නෙත් මේ දවස්වල ප්‍රේක්ෂකයෝ වැඩිපුර ආදරය කරන චරිතයක්?

 

සසංකාරා හි මම රඟපාන්නේ මාලාගේ චරිතය. මාලාට මිනිස්සු ආදරෙයි. මාලාගේ ජීවිතයේ සමහර තැන් සමහර ප්‍රේක්ෂකයන්ට මාර ළඟයි. සමහර ප්‍රේක්ෂකයෝ මට ඒ කතාව මූණටම කියලා තියෙනවා. ඒගොල්ලෝ ඒ නාට්‍යයත් එක්කම ජීවත්වෙනවා වගෙයි. මාලා කියන චරිතයටත් මම ගොඩක් ආදරය කරනවා. ඉතිං ප්‍රියන්ත ප්‍රනාන්දුට ස්තූතිවන්ත වෙන්න ඕනෑ මාලාට මාව තෝරාගත්තු එකට.

 

 

රාග, පැබ්ලෝ, සසංකාරා ටෙලිනාට්‍යවලින් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන ටෙලිනාට්‍යයටද?

තවම ගොඩක්දෙනෙක් මාව දන්නේ අසේනි කියන චරිතයෙන් තමයි.

 

 

අසේනි නිසා රෙබෙකාගේ ජීවිතයට මොනවගේ ආලෝකයක් ද ලැබුණේ?

 

අසේනි ලැබිච්ච එක මට වාසනාවක්. මම අවුරුදු දහයක් පහළොවක් වැඩ කරලා මිනිස්සු අතරට ගියේ අසේනිගේ චරිතය හරහායි. හැබැයි මම ඊට කලින් සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මිනිස්සු මාව දැනගත්තේ අසේනිගෙන්. අපි මෙච්චර දඟලන්නේ මිනිස්සුන්ගේ ආදරය ලබා ගන්නනේ. මට මිනිස්සුන්ගේ ආදරය ලැබුණේ අසේනි නිසයි.

 

 

අසේනි හින්දා රෙබෙකාට විවිධ චරිතවලට ආරාධනා ලැබිලා තියෙනවාද?

 

අසේනි හින්දා මට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. අසේනි හින්දා වැඩ ටිකක් ආපු එකට අනුෂ්ක රසාංජනට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.

 

 

අසේනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමකට පවා ලක්වුණා නේද?

 

ඔව්. මේක මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ මට ලැබෙන පළමු වැනි සම්මානය. වේදිකා නාට්‍යවල මට සම්මාන ලැබිලා තියෙනවා. හැබැයි මම හිතුවේ නැහැ. නමුත් අනෙක් අය කිව්වා ඔයාට සම්මානයක් ලැබේවි කියලා. මම රයිගම් සම්මාන උළෙල ගැනවත් මොකුත්ම දන්නේ නැහැ. ආරාධනා පත්‍ර තිබෙන අයට සම්මාන තිබෙනවා කියලවත් දන්නේ නැහැ. මට ලැබුණු ආරාධනාවට නිකමට ගිහිල්ලා ඉඳගෙන හිටියේ. හැබැයි පැය භාගයක් යනකොට ජූරියේ විශේෂ සම්මානයක් කියලත් මගේ නම කිව්වා.

 

 

ඒ වෙලාවේ මොනවගේ හැඟීමක්ද ආවේ?

 

මම ස්ටේජ් එකට ගියා මතක නැහැ. මොකද මට මේ සම්මානය ලැබුණේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ අනුෂ්ක රසාංගගේ කණ්ඩායම හින්දනේ. ඇත්තටම ඒ සතුටට මම වේදිකාවට ගියා මතක නැහැ. සම්මානයට කලින් ප්‍රේක්ෂක සම්මානය මට ලැබිලත් තිබුණානේ. හැබැයි ඒක මට සංකේතයක් විදිහට ලැබිච්ච එක ලොකු සතුටක්.

 

 

ඊට පස්සේ ජීවිතය ගැන, මේ ආපු ගමන ගැන මොනවගේ හැඟීමක් ද ආවේ?

 

ආ මග කෙටියි, යායුතු මග දුරයි වගේ එකක් තමයි දැනෙන්නේ. තව ඉදිරියට රඟපෑම ගැන අධ්‍යයනය කළ යුතුයි. මම තමයි නිළිය කියලා එහෙම ඉන්නත් බැහැ. තව දේවල් හොයන්න ඕනෑ. රංගනය සම්බන්ධයෙන් අපි අප්ඩේට් වෙන්න ඕනෑ. රංගන ශිල්පිනියක් විදිහට මේ වෙලාවේ සියලුම දේ ගැන අප්ඩේට් වෙන්න ඕනෑ. රංගනය හදාරන්නත් ඕනෑ. සම්මාන හම්බ වුණා කියලා එතැනින් එහාට සියලුම දේවල් නතර කරන්න හොඳ නැහැ.

 

 

ඔය අතරේ සජීව සංකල්පගෙන් සිනමාවටත් ආරාධනාවක් ලැබුණා නේද?

 

ඔව්. සජීව සංකල්පගෙන් ආරාධනාවක් ආවා. චිත්‍රපටයේ නම අහසින් එහා. ඒක ගවේෂණශීලී විද්‍යාත්මක ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මම වගේම ශ්‍යාමා ප්‍රනාන්දු, සුනන්දි උපෙත්මා, කුසල් මධුරංග, රොජර් සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, ක්ලීටස් මෙන්ඩිස් වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

 

අහසින් එහා චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?

 

සජීව සංකල්පගෙන් තමයි ආරාධනාව ලැබුණේ. කොහොමත් අපි ආසයිනේ ෆිල්ම්වල වැඩ කරන්න. හරි නිදහස්නේ.

 

 

මේක ඔබේ කී වැනි සිනමා නිර්මාණයද?

 

ඇත්තටම ගත්තොත් මේක මගේ තුන්වැනි සිනමා නිර්මාණය.

 

 

කොච්චර කාලෙකට පස්සේ ද සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ?

 

මම මීට කලින් සමීර නාඔටුන්නගේ ‘ද වයිෆ්’ කියන චිත්‍රපටයේ වැඩ කළා. ඊට පස්සේ තමයි මේ චිත්‍රපටයට ආරාධනා ලැබුණේ.

 

 

රෙබෙකාගේ රංගන ජීවිතයේ සිනමා අත්දැකීම් මොනවගේද?

 

වේදිකාව, ටෙලිනාට්‍ය වගේම සිනමාව කියන්නේ පැති තුනක්. ටෙලිනාට්‍යයේ සහ සිනමාවේ වැඩ කරන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. ඒ අත්දැකීම මරු. වේදිකා නාට්‍යයක් කරන විදිහට අපි සිනමාවේවත්, ටෙලිනාට්‍යයේවත් අපිට රඟපාන්න බැහැ. ඒ වෙනස තුන් විදිහකට දැනගෙන වැඩ කරන එකත් ලොකු අත්දැකීමක්.

 

 

රෙබෙකා වේදිකාවේ සෑහෙන වැඩ කොටසක් කරපු රංගන ශිල්පිනියක්?

 

ඔව්. මම අවුරුදු දහයක් විතර වේදිකාව තමයි ඇසුරු කළේ. වේදිකාව කියන්නේ විශ්වවිද්‍යාලයක්. අපි ස්ටේජ් එකට එකම නාට්‍ය රැගෙන දර්ශන වාර දහයක් රැගෙන ගියත් වේදිකාවට දහපාරක් නැග්ගත් හැමදාම අලුත් වගේ. හැමදාම මේක මගේ පළමු වැනි නාට්‍යය වගේ හැඟීමක් තියෙනවා වේදිකාවෙන් වේදිකාවට. හෝල් එකෙන් හෝල් එකට. නාට්‍යයෙන් නාට්‍යයට හැමදාම අලුත් අත්දැකීම් තමයි ලැබෙන්නේ.

 

 

රෙබෙකා මේ විෂය තෝරා ගත්තේ නැතිනම් අද වෙනකොට මොනවා කරාවිද?

 

පුංචි කාලේ ඉඳලම මට රඟපෑම තමයි හීනයක් වෙලා තිබුණේ. බණ්ඩාරවෙල පුංචි ගමේ ජීවත්වෙන කාලේ ඉඳලම ඒ හැඟීම මට තිබුණා. හැබැයි මේක අතහැරියොත් මට මොකුත් කරන්න බැහැ කියන අදහස තිබුණෙත් නැහැ. මේක මට නැති වුණොත් මම හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙනවා. මොකද මගේ අම්මලා, තාත්තලා ව්‍යාපාර කටයුතු කරන්නේ.

 

 

අම්මා තාත්තා අද වෙනකොට ඔබ ඉන්න තැන ගැන මොනවාද කියන්නේ?

 

එයාල මුලින් අකමැති වුණාට දැන් ඉන්න තැන ගැන හරි සතුටුයි. ඒ කාලේ අපේ අම්මලා කිව්වේ මම දඟලන එකේ ප්‍රයෝජනයක් නැහැ කියලයි. මේක හරි ලොකු ගමනක්. අර හඳ අල්ලන්න වගේ යන එකක්. හැමෝටම හඳට යන්න අමාරුයිනේ. අපේ අම්මලා කිව්වේ අපි සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය විදිහට ඉමු. නමුත් අපේ අම්මලාටත් හිතාගන්න බැරි වුණා මම මෙච්චර දුරක් ඒවි කියලා.

 

 

අසේනිගේ චරිතය ගෙදරට දැනුණේ කොහොමද?

 

අපේ ආච්චි, සීයා, අම්මා, තාත්තා, පුංචිත් ඒක නැරඹුවා. ඔය කට්ටියම ඉන්නේ එකම ගෙදර. අපේ පවුල ටිකක් ලොකු පවුලක්. නාට්‍යයේ කොටසක් විකාශය වුණු ගමන් හැමදාම මට කෝල් කරනවා. හරි සතුටින් තමයි නැරඹුවේ.

 

 

රංගනය කියන විෂය පිළිබඳ මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

 

අපි දවසක් රූගත කිරීමකදී වෛද්‍යවරයෙකුගේ චරිතයක් රඟපාන්න වෛද්‍යවරයෙකුම තෝරා ගත්තා. ඒ දර්ශන ටික රඟපාලා වෛද්‍යවරයා අන්තිමට කිව්වේ රඟපාන්න තමයි මම හිතුවේ ඩොක්ටර් කෙනෙක් වෙන්න අමාරුයි කියලා. හැබැයි රඟපාන්නත් ඒ වගේම අමාරුයි කියලා දැන් තමයි තේරුණේ කියලා කිව්වා. රඟපාන්න අමාරුයි කියලා ඒ මනුස්සයකුගෙන් මම ඇහැව්වමයි. රඟපෑම හිතන තරම් ලේසි නැහැ. අපි හැම තිස්සේම අප්ඩේට් වෙන්න ඕනෑ. අපි ඇත්තටම මිනිස්සු ගැන දැනගන්නත් ඕනෑ. දැන් මට තත්ත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ හිරේ ඉන්න චරිතයක් හම්බ වුණා. මම මොකුත් දන්නේ නැතිව ඒ චරිතය තෝරා ගත්ත නම් ඒ චරිතය අසාර්ථක වෙනවා. මම දැන ගන්න ඕනෑ මේ මනුස්සයා හිරේ ඉන්න හේතුව මොකක්ද? හිරේ ඉන්න කොට මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. ලෝකයේ ඕනෑම චරිතයක් කරන්න අපි අප්ඩේට් වෙලා තියෙන්න ඕනෑ.

 

 

රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ මොනවගේ චරිතයක්ද?

 

මම ලංකාවේ සංස්කෘතියට අනුව හැඩගැහිච්ච බොහොම සාමාන්‍ය මනුස්සයෙක්.

 

 

ඔබ වැඩිපුර සෝෂල් මීඩියා කැම්පේන්වල නැහැ නේද?

 

මම සෝෂල් මීඩියාවලට ෆොටෝ එකක්වත් දාන්න හරි කම්මැලි මනුස්සයෙක්. හැබැයි සෝෂල් මීඩියාත් අපේ ජීවිතවලට ඕනෑ. මොකද දැන් හැමදේම සෝෂල් මීඩියා මතනේ රඳා පවතින්නේ. එතකොට ඒකත් ඕනෑ. එකේ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. හැබැයි මම සෝෂල් මීඩියා මේන්ටේන් කරන්න පොඩ්ඩක් කම්මැලියි. සෝෂල් මීඩියා මේන්ටේන් කරනවාට වඩා අපි කොහොමද චරිත ගොඩනඟා ගන්නේ කියන කාරණා අධ්‍යයනය කරන්න ඊට වඩා වේලාවක් ගන්නවා.

 

 

අසේනි ගැන සමාජ මාධ්‍ය තුළ ලියැවුණු කාරණා ගැන මොකද හිතෙන්නේ?

 

සතුටුයි. මිනිස්සු නාට්‍ය බලන එක අතහැරලා තිබුණ කාලයක තමයි මේ නාට්‍යය විකාශය වුණේ. ඇත්තටම තරුණ පරපුර ටීවී බලනවා, නාට්‍ය බලනවා කියල එකක් නැහැ. තරුණයෝ ඉන්නේ ජාත්‍යන්තර ෆ්ලැට්ෆෝම්වල. හැබැයි ටේක් කෙයාර් හින්ද පොඩි සමාජ පෙරළියක් වුණා. කලාවෙන් මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න පුළුවන් කියන කාරණාවට පොඩි හරි දෙයක් සිද්ධ වුණා. ඒ ගැන හරි සතුටුයි.

 

 

රෙබෙකා චරිත තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?

 

ඇත්තටම මට හම්බවෙන හැම චරිතයකටම මම කැමැතියි. මට මෙච්චර කාලයකට කෙහේවත් නැති චරිත හම්බවෙලත් නැහැ. මට හම්බවෙන චරිත හැම එකකම මට කරන්න දෙයක් තිබෙනවා. සමහර වෙලාවට මට චිත්‍රපටයක රඟපාන්න ලැබෙන්නේ එක දර්ශනයයි. හැබැයි මට ලැබෙන්නේ එක දර්ශනයද එක සීන් එකද කියල අදාළ නැහැ. ලැබෙන චරිතයට උපරිම සාධාරණය කරන්න තමයි මම බලන්නේ.

 

 

ගමෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

 

ගමේ යාළුවෝ වගේම විශ්වවිද්‍යාලයේ යාළුවෝ තමයි අදටත් කතාබහ කරලා ප්‍රතිචාර දක්වන්නේ. ඇත්තටම අපේ එකෙක් කියලා ඔවුන්ගෙත් හිතේ තියෙනවා.

 

 

මේක අතහරින්න ඕනෑ කියලා හිතුන අවස්ථා තිබුණාද?

 

අපොයි තිබුණා. බෝඩිම්වල ඉඳලා නිකං චාටර් වෙවී ඉන්නකොට මේක අතහරින්න හිතුන වාර අනන්තයි. කොරෝනා කාලයේදී නම් මට හැරිලා යන්නමයි හිතුණේ. ආපහු යන්නත් බැහැ රට වහලා. කන්නත් නැහැ. රස්සාවක් කරන්නේ නැති හින්දා මට ආදායම් මාර්ගයකුත් නැහැ. සමහරු කිව්වා ඔයාට රස්සාවක් කරන්න තිබ්බනේ කියලා. හැබැයි රස්සාවක් කළා නම් මට මේක අතහැරෙනවා. මේක කළොත් රස්සාවක් කරන්න බැහැ. ඔය වගේ කාරණා රැසක් තිබුණා. අතහැරලා යන්නම ඕනෑ කියලා හිතුන වාර අනන්තයි. අද වෙනකොට ඒවා දරාගෙන ඉඳීම ගැන සතුටුයි. හැබැයි ජීවිතය ජයග්‍රහණය කළා කියලා එකක් නැහැ. මම ඉන්න තැන ගැන මම දැන් තෘප්තිමත්.

views

79 Views

Comments

arrow-up