පාස්කු ප්‍රහාරය බිලිගත් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නෙ සහ දියණිය නිසංගා මායාදුන්නේගේ කඳුලු කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පාස්කු ප්‍රහාරය බිලිගත් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නෙ සහ දියණිය නිසංගා මායාදුන්නේගේ කඳුලු කතාව (PHOTOS)

පාස්කු ප්‍රහාරය බිලිගත් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නෙ සහ දියණිය නිසංගා මායාදුන්නේගේ කඳුලු කතාව (PHOTOS)

ශාන්තා මායාදුන්නෙ.. රූප පෙට්ටියෙන්, පුවත්පත් සඟරා පිටුවලින් රහට කෑම හදන්න ඉගැන්වූ ප්‍රවීණ සූපවේදිනිය ඇය.

 

නිසංගා මායාදුන්නෙ... අම්මා වගේම රුවැති ඈ, කලාව සහ මාධ්‍ය සමීපව ඇසුරු කළ දියණිය...

 

 

මේ දෙදෙනාම මීට වසර පහකට ඉහත ලොවක් කම්පා කළ කඳුළු පාස්කුවට ගොදුරු වන්නේ, කිසිදු වරදක් නොකර ජීවිතවලින් වන්දි ගෙවූවන්ගේ ගොඩටම එක්කාසු වෙමින්.

 

එදා සුපිරි හෝටල් ඉලක්ක කරගෙන එල්ලවූ ප්‍රහාරයෙන්, ශාන්තාත් දියණිය නිසංගාත් මෙසේ අවසන් ගමන් ගොස් තිබුණේ, මෙන්න මේ සේයා රුවෙහි ඇති සිනහව අතීතයට ම එකතු කරමින්.

 

නිසංගාගේ මරණයේ වඩාත් ඛේදනීය කතාව නම්, ඈ ඒ වන විට සිඟිත්තියකට මවක වී කෙටි ම කෙටි කාලයක් ගතව තිබීම.

 

 

ශාන්තා - නිසංගාගේ පමණක් නොව තවත් ජීවිත රැසක ඉරණම මහා දරුණු ආකාරයෙන් විසඳූ කඳුළු පාස්කුව, අදටත් හරි හැටි යුක්තිය ඉටුනොවුණු ඛේදවාචකයක් ම පමණි.

 

සියල්ල අවසන සිදුවූයේ, මේ සුන්දර ම සිනහවන් වියැකී යාම ම පමණි.

 

 

මේ, එදා තම සමීපතමයින්ගේ වියෝව ගැන දයාන් විතාරණයන් තැබූ සංවේදී සටහනයි...

 

''එදත් අඳුරේ වෙළී අප මරණය අභියස ය,

අදත් අප අඳුරේ මරණය අභියස ය.

අදින් වසර 5 කට පෙරාතුව පාස්කුවෙන් අසිරි ගැන්වුණු අප්‍රේල් 21 වන ඉරිදාවේ අප රටට හිරු පෑයූ මුත්, නොසිතූ නිමේෂයක අන්ධකාරයෙන් වෙළුණ එදිනයේ කුරිරු අන්තවාදී ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය හමුවේ මගේ සමීපතම හිතවතුන් වූ නිසංගා මෙන්ම ඇගේ මව ශාන්තා අක්කා ද ඇතුළුව දෙස් විදෙස් බොහෝ දෙනෙක් ‍නොසිතූ නිමේෂයක දිවි පිදූහ.

එය අප සැමගේ සිත් කම්පනය කරවනසුළු වූ අතර ජීවිතයක ඇති අවිනිශ්චිතබව තේරුම් ගැනීමට, ඔවුන් මෙන්ම එදින අප හැර ගිය සුවහසක් දෙනා ලබා දුන් කදිම අවස්ථාවකි.

ඒ කුරිරු ලේ පිපාසිතයන්ගේ ගොදුරු බවට පත් වූ සියලු දෙනා අප දැයේම මිනිසුන් ය.

අපේම සහෝදර සහෝදරියන් ය. දූ දරුවන් ය.

තවමත් ජාතියක් සිතින් ගිලන්ව පැසවන මතක සමග ගෙවන මේ අන්ධකාර දිනයට අදට වසරක් සපිරුණ ද තවමත් එහි පසුපස සැඟව සිටින සියලු චූදිතයන් අප හඳුනාගෙන නොමැත.

එදින එම බෝම්භ පිපුරුම් හමුවේ කොතෙක් නම් කල් අප බියෙන් තැතිගෙන සිටියේදැයි අප දනිමු.

එමෙන්ම අදටත් ඒ රුදුරු දිනයේ භීතිය හමුවේ අප හෙට දිනය ගැන විශ්වාසය නොතබන්නට පෙළඹී ඇත.

එහෙත් ඉන් වසරකට පසුව අප ගෙවන අද ද ජාතියක් මෙන්ම ලෝකයක් ලෙස යළි මරණය අබියසම අපි රැඳී සිටින්නෙමු.

 

 

එදා උන්මන්තක ලේ පිපාසිතයන් හමුවේ මරණය දුටු අප මෙදවස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය නම් මාරයා හමුවේ යළිත් මරණය අභියසම රැඳී ඇත.

මේ සියල්ල හමුවේ ජීවිතය පිළිබඳ යළි යළිත් ගැඹුරින් දකින්නට සහ එහි අනියත බව අවබෝධ කරගන්නට අප අවස්ථාව ලැබී ඇතැයි සිතේ.

එනිසාම ගතවන සෑම මොහොතකම අප අනෙකා වෙනුවෙන් ද සිතමින්, මෙලොවට වැඩදායි සහ මිනිසත්කමට ගෞරවාන්විත අයෙක් සේ ජීවත් වෙමු.

අපෙන් වෙන්ව ගිය සහ හදවතින් ගතින් තුවාල වූ අපේම සහෘදයන් ස්මරණය කරමින් අද උදෑසන දැයක් ලෙස අප සැම භේදයකින් තොරව පහන් දල්වා ආගමික වතාවත්හි යෙදුණෙමු.

අදින් වසර 5කට පෙර අප අතරින් අකාලයේ සමුගත් සිය ගණනක් වූ බොහෝ දෙනා අතරින් මගේ සමීප මිතුරියක වන නිසංගා සහ ඇගේ මෑණියන් වන ශාන්තා අක්කාගේ වියෝ වර්ෂ පූර්ණය ද අදට යෙදෙන නිසාවෙන් මෙවැන්නක් සඳහන් කරන්නෙමි.

 

හිතාදර නිසංගාගේ ප්‍රතිභාව විටෙක නිවේදිකාවක් ලෙසින්ද, තවත් විටෙක ගේය ප්‍රබන්ධිකාවක් ලෙසින්ද, තවත් විටෙක ගායිකාවක් ලෙස මෙන්ම ජාතික තලයේ සම්මානිත ක්‍රීඩිකාවක් ලෙසද පමණක් නොව බැංකු විධායක නිළධාරිණියක ලෙස සිය වෘත්තීමය ජීවිතයේද කැපීපෙනෙන තරම් වීය.

ඒ සියල්ලටම වඩා ඇය උතුම් වන්නේ ඇය සතු මානූෂීයත්වය නිසාවෙනි.

තමන් ගැන සිතීම මූලික කොටගත් සමාජයක නිසංගා තමා දෙවෙනි කොට අනුන් වෙනුවෙන් සිතා විශේෂයෙන් ම කුඩා දරුවන් වෙනුවෙන් තම උපරිමය නොපිරිහෙළා කළ කෙනෙකි.

තම දරුවාට ඇය සලකන්නේ කෙසේද අනෙක් දරුවන්ගේ සුඛ විහරණයද ඇයට ඒ තරම්ම වටිනා දෙයක් වීය.

ඇය විසින් නිහඬව සිදු කළ එවැනි සත්කාරයන් රැසකට හවුල්කරුවෙකු ලෙසින් මා සහභාගී කරගන්න ඇය අමතක නොකළ අතර ඇය කළ සියලු සත්කාරයන් මෙහි ලියන්නටත් තරම් අසීමාන්තිකය.

දකින දකින තැන විස කටුවලින් පිරුණු මේ සංසාර ආරණ්‍යයේ නිසංගා අපට හෙළි පෙහෙළි කර දුන් සනාතන හේලි ධර්මතාවය අතිශය වැදගත් ය.

මෙලොව මිනිසෙකු ලෙසින් කෙතරම් අංග සම්පූර්ණව, අනෙකෙක්ට ප්‍රියමනාප ලෙසින් රුවැතිව උපත ලැබුවද එම අපූර්ව ජීවිතය තණ අග රැඳි පිණි බිඳක් විලස ක්ෂණ නියාමයෙන් නැති වී යා හැකි බව අපට සනාථ කරන්නට නිසංගා සහ ශාන්තා අක්කා තරම් තවත් නිදර්ශන කුමටද ?

ඇය අවබෝධ කරදුන් එකම සත්‍යය වූයේ දිවි ඇති තෙක් අන්‍යයන්ට උපකාරයක් වෙමින් ආත්ම තෘප්තිය පමණක් සිය වත්කම කොටගෙන ජීවත් වීම සැනසීමට හේතු වන බව ම ය.

 

අප සියවසක්, අඩ සිය වසක් හෝ කාලානුරූපී පරමායුෂ වින්දනය කළත් අපට මෙලොව වෙනුවෙන් කළ නොහැකි තරම් දෙයක් නිසංගා සුජීවත්ව සිටි තිස් හය වසරට සිදු කළ බව කිව යුතුමය.

එවැනි ගුණ යහපත් මිනිසුන් බොහෝ කලක් මේ දුක්ඛදායක ලෝකයේ ජීවත්ව නොසිට ඉක්මණින් වෙන්ව යාමද ලෝක ස්වභාවයයි.

අද අප හා එක්ව සිනාසෙන්නට, දොඩමලු වන්නට හෝ සත්කාරයන්හි නියැළෙන්නට නිසංගා අප'තර නැති බව සත්‍යයකි.

එනමුත් ඇගේ දර්ශනය, දැක්ම අනුව කෙරීගෙන ගිය වැඩ කටයුතු කිසි දින නොනවතිණු ඇත.

දූෂිත පානීය ජලයෙන් සැනසෙන දූ දරුවන් සිටින කර්කෂ වූ පළාත්වලට නිසංගා එම සිඟිත්තන් වෙනුවෙන් නව ජල සම්පාදන වැඩ පිළිවෙළක් තනන්නට නිබඳව වෙහෙස වූ අතර ඇගේ ඥාතී හිතෛෂීහු එම සේවය ඇගේ කැමැත්ත පරිදී ඇය වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කළෝය.

ඔබේ නිසල දේහය තැන්පත් කර තිබූ ඔබේ නිවසේද කුඩා ළමුන් වෙනුවෙන් ඔබ ගෙනත් තිබූ නොයෙක් දෑ අප නෙත ගැටුණේය.

ඔබේ සේවය එනිසාම ඔබ අප අතර නැතත් සර්වකාලීන වන්නේ ම ය.

ඔබේ ගීයකට හඬ මුසු නොකළේ මම ම පමණක් විය යුතු යැයි සිතෙන තරමට ඔබ ප්‍රවීණ නවීන සැමට ලියා දුන් ගී පද සමුදායකි.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන "සිතේ සිරවුණු.......", විශාරද අමරසිරි පීරිස් ගයන "නුඹ ළඟින් සිටියා නම්.........", කසුන් කල්හාර ජයවර්ධන ගයන "දෙතොල් විල මත මදහසක්........", විශාරද සෙව්වන්දි රණතුංග ගයන "සෙවණැල්ලක් වී........", "සඳේ සිසිලත්........", "ළඟින් හිටියත්.........." සහ "යන්න දෙන්න මට.......", ශෂිකා නිසංසලා ගයන "සිත් දහස පිරිවරා තාරකා මල් පිපෙනවා.......", උරේෂා රවිහාරි ගයන "සංසාරයේ වන්දනාවේ.........." සහ දිමංක වෙල්ලාලගේ ගයන "හීන් සැරේ නුඹ ඇවිදින්........." වැනි අර්ථපූර්ණ ගී රාශියක් ඇගේ පන්හිඳෙන් ජාතක වීය.

එකල ඇය පබඳින සියලු ගේය රචනා මැසෙන්ජර් හරහා මා වෙත එවන්නට ඇය අමතක නොකළාය.

මා නිර්මාංශී වීම මත මගේ ගීයක් ඒ වෙනුවෙන් වෙන්කර තවත් පිරිසක් නිර්මාංශ කරවීමට මගේ සිතේ උපන් අදහස සඵත කරමින් "අපා දෙපා සිව්පා........" නමින් ඇය මා හට ගීතයක් ලියා දුන්නද අප සැමගේ අවාසනාවට එන ගීතය ගැයීමට මට කාලයාගේ ඇවෑමෙන් අවස්ථාවක් නොලැබිණි.

කෙසේ නමුදු දැන් ඒ සියල්ල අතීතයයි. වර්තමානය සහ අනාගතය තුළ ඇත්තේ ඇගේ ගුණ සුවඳ පමණක් ම ය.

ඇගේ මව වන ආදරණීය ශාන්තා අක්කා හෙවත් මුළු රටම හඳුනන ප්‍රකට සූපවේදිනී ශාන්තා මායාදුන්නේ ද බොහෝ ගුණ යහපත් ගතිගුණ ඇත්තියකි.

මගේ සමීපතම හිතවතියක වූ ඇය අප අතර අදත් සුජීවත්ව සිටියේ නම් එළඹෙන වසරේ සුවිසෙස් උපන්දිනක් සමරන්නීය.

අද මෙන් අන්තර්ජාලය පහසුකම් පුළුල් නොමැති යුගයේ බොහෝ ගෘහණියන් සූප ශාස්ත්‍රය උගත්තේ පුවත්පත්, සූප ශාස්ත්‍ර කෘති හෝ රූපවාහිනී උදා වැඩසටහන් තුළිනි.

එම මාධ්‍යත්‍රයම හරහා සුප ශාස්ත්‍රය වෙනුවෙන් කැපීපෙනෙන මාහැඟි සේවයක් ඉටු කළ ශාන්තා අක්කාගේ ඡායාරූප වැඩිම ගණනක් ගෙන ඇත්තේ මම විය යුතුය.

බොහෝ විට ඇගේ පුවත්පත් කවර, විශේෂාංග මෙන්ම සූපවේද අතිරේක හැඩගැන්වුණේ ද මගේ සේයාරුවෙනි.

නිසංගා මෙන්ම සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාර වෙනුවෙන් නිහඬව බොහෝ දේ කළ ශාන්තා අක්කා මියැදෙන්නට හරියටම සති දෙකකට පෙර මා හට අවසන් වරට මුණ ගැසුණේ ද ජයන්ත රත්නායක වෙනුවෙන් අප පැවැත්වු ප්‍රසංගයේ දී ය.

එදින ද ඇය ඊට ප්‍රවේශපත්‍ර ගත්තේ මගෙනි.

නමුත් ඒ ඇගේ නිර්ව්‍යාජ සිනහව දකින අවසන් දිනය බව අප කිසිවෙක් එදින දැන සිටියේ නැත.

අද දින ද ඔවුන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් ධර්ම දේශනාමය පිංකම් මාලාවක්ම පැවැත්වුණු අතර එම ධර්ම දේශනාවන් විවිධ නාලිකාවන් ඔස්සේ ප්‍රචාරණය කරමින් ද බොහෝ දෙනෙක් ඊට සම්බන්ධ කරගත්තේය.

ඒ සැමගේ පහන් පැතුම් හමුවේ මියැදුණු සියලු දෙනාගේ නිවන් සුව වැඩි ඈතක නොවේවායි අප විශ්වාස කළ යුතුය.

ආදරණීය නිසංගා සහ ශාන්තා අක්කා වෙනුවෙන් මෙලෙසින් සටහනක් තබන අවස්ථාවේ නිසංගා, ශාන්තා අක්කා මෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මියදෙන්නට වූ දෙස් විදෙස් සියලුම දෙනා වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

නිසංගා විසින් විශාරද අමරසිරි පීරිස් වෙනුවෙන් ලියා සුරේෂ් මාලියැද්ද සංගීතවත් කළ ගී ඛණ්ඩයකින් ම සටහන නවතමි.

"නුඹ ළඟින් සිටියා නම්

උදා හිරු එළියටත් කලින්

එළිය අරගෙන වඩීවී........"

 

views

322 Views

Comments

arrow-up