“මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි එතුමා ළඟට ගිය එක” - සුබුද්ධි ලක්මාලි

ඔපෙරාවන් හරහා රංගනයේ විවිධ මානයන් සොයා යෑම ආරම්භ කළ ඇය මෙරට සිටින අතිදක්ෂ රංගන ශිල්පිනියකි. රංගනය මෙන්ම ගායනය විෂයෙහිද විශාල විභවයක් සහිත ඇය වේදිකාව හරහා මෙරට නාමය ජාත්‍යන්තරය තුළ සම්මානිත කරන්නට තරම් සමත් වූ ශිල්පිනියක් වේ. ඉරගිනි මද්දහනේ කාංචනා ලෙසින් මේ දිනවල ඔබ අබිමුවට එන ඇය නමින් සුබුද්ධි ලක්මාලි වේ.
ඉරගිනි මද්දහනේ කාංචනාට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව ආරම්භ කරමු?
ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. ගොඩක් අය චරිතයට බැනලා තිබෙනවා. මොකද ඒක ගත්තම අළු චරිතයක්. මිනිස්සු ටිකක් දකින්න අකැමැති චරිත ලක්ෂණ තිබෙන චරිතයක්. මගේ ජීවිතෙත් මෙතෙක් කාලෙකට රඟපාන්න නොලැබුණු ආකාරයේ චරිතයක්. අපි හැම තිස්සෙම කළු-සුදු කියලා බෙදුවට අළු මිනිස්සු තමයි සමාජයේ ඉන්නේ. සමහර වෙලාවට මිනිසුන්ගේ හොඳ ලක්ෂණ මතු වෙද්දි තවත් වෙලාවකට නරක ලක්ෂණ මතු වෙනවා. ඒක හැමෝටම පොදුයි. කොහොම වුණත් ලැබෙන ප්‍රතිචාරවලින් මිනිස්සු මගේ චරිතය වැලඳගෙන තිබෙනවා කියලා තේරෙනවා.
නවකතාවක චරිතයක් ටෙලිවිෂන් තිරයට අරගෙන එන එක මොන තරම් අභියෝගාත්මකද?
නිර්මාණයක් කරද්දි අපි මූලික තැන දෙන්නේ පිටපතට. පිටපත කියවද්දි චරිතය ගැන අපිට අවබෝධයක් එනවා. එතැනදි රචකයා හෝ රචිකාවිය සමඟ කතා කරන එක සහ අධ්‍යක්ෂවරයා අපෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද කියන දේ ඔහුත් සමඟ කතා කරන එක ඉතාම වැදගත් වෙනවා. එතැනින් එහාට රංගන ශිල්පියෙක් ශිල්පිනියක් විධියට කොහොමද චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්නේ කියන දේ අපේ හෝම්වර්ක් එක. තමන්වත් රැකගෙන තමන්වත් නොපෙනෙන විධියට අපි කොහොමද ඒකට අනුගත වෙන්නේ කියන එක තමයි අපිට ලැබෙන ලොකුම අභියෝගය. එතැනදි පිටපත කියවද්දි අපිට රචිකාවිය බලාපොරොත්තු වෙන චරිත ලක්ෂණ ගැන අවබෝධයක් එනවා. එහිදී අපේ ජීවන අත්දැකීම්, අපිට හමුවෙලා තිබෙන විවිධාකාර මිනිසුන්ගෙන් අපි උකහාගන්න, එකතු කරගන්න දේවල් අපිට ඒ චරිතය ගොඩනඟද්දි උපයෝගි කරගන්න පුළුවන්. ඇත්තටම සංගීතයේදී, විතරක් නෙවෙයි රංගනයේදීත් ශ්‍රැතිය, රිද්මය කියන දේ හරිම වැදගත්. ඒක රංගන ශිල්පියා හෝ ශිල්පිනිය තේරුම් ගන්නවා නම් නවකතාව හරහා කියවාගත් චරිතය ටෙලි නාට්‍ය හරහා ඒ ආකාරයෙන්ම මතු කිරීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම මට කඳුළු කුණාටුව රචිකාවිය තරංගා දිසානායකගෙන් ඇය ගොඩනැඟූ චරිතයට මම ඒ ආකාරයෙන්ම පණපොවන බවට හෘද්‍යාංගම ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් ඒ වගේමයි.
ඔපෙරාවෙන් ඇරැඹි ගමන චරිතාංග නිළියක් වීම සඳහා මොනතරම් පිටිවහලක් වුණාද?
රංගන ශිල්පියෙක්ට, ශිල්පිනියකට ආරම්භය ලබා ගන්න හොඳම තැන තමයි වේදිකාව. ඒ හරහා ලැබෙන පන්නරය ඉමහත්. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වේදිකාවක් හරහා මතු වෙනවා කියන්නෙම ඒ හරහා ඔවුන්ට විශාල පුහුණුවක් සහ කැපකිරීමක් ලැබෙනවා. එවැනි පුහුණුවීමක් තුළින් එන කෙනෙක්ට කැමරාවක් ඉදිරියේ රඟපාන එක ලොකු අභියෝගයක් නෙවෙයි. එහිදී අපිට රංගනයන් තුළින් ඉදිරිපත් කරන දේවල් යම්තාක් දුරකට පාලනයක් ඇතිව සිදු කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. මොකද වේදිකාව තුළ සජීවීව රංගනයේ යෙදෙද්දී හැම ප්‍රේක්ෂකයාටම පෙනෙන, ඇසෙන ආකාරයේ අධිරංගනයක යෙදෙන්න සිදු වෙනවා. කැමරාවක් ඉදිරියට ගියාම අපිට තිබෙන්නේ ඒ අධිරංගනයෙන් මිදිලා කැමරා කාචයෙන් නරඹන ප්‍රේක්ෂකයාට එය බොහෝම ස්වාභාවික රංගනයක් බවට දැනවෙන ආකාරයේ රංගනයක යෙදෙන එක. එතැනදි ටෙලි නාට්‍ය රූගත කරන කැමරාව ඉදිරියේ කරන රංගනය හා සිනමාපට රූගත කරන කැමරාව ඉදිරියේ කරන රංගනය එකිනෙකට වෙනස්. සිනමා පටයකට දායක වෙද්දී අධිරංගනය තවදුරටත් විශාල පාලනයක් සිදුකර ගත යුතු වෙනවා.
එහිදී ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් ඔබට ලැබුණු ගුරුහරුකම් සිහිපත් කළොත්?
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි කේමදාසයන් ළඟට ගිය එක. කේමදාස ශාස්ත්‍රාලයට ඇතුළුවීම තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළ මොහොත. විද්‍යා විෂයන් හදාරලා වෛද්‍යවරියක් වෙන්න හිටපු මගේ ජීවිතය ඒත් එක්කම හාත්පසින් වෙනස් වෙනවා. නමුත් මම ඉගෙනගත්ත හැමදෙයකින්ම අද ප්‍රයෝජන ගන්නවා. රංගන ශිල්පිනියක් විධියට, ගුරුවරියක් විධියට රංගනය පිළිබඳව, හඬ පාලනය පිළිබඳව උගන්වද්දි අපේ ශරීරයේ ඉන්ද්‍රියයන් වැඩකරන විධිය, එහි විද්‍යාත්මක පසුබිම දැන සිටීම ඉතා වැදගත්. ඉතිං මම අද ඒ දේවල්වල ප්‍රයෝජන ලබා ගන්නවා. ආචාර්ය කේමදාසයන් ගැන කතා කරද්දි, අපේ මනස, ශරීරය, ආධ්‍යාත්මය කොහොමද පුහුණු කරන්නේ කියන එක මම ඉගෙනගත්තේ ඔහුගෙන්. ඒ වගේම ඔහුගේ ශිෂ්‍යාවක් විධියට ඉන්න කාලයේ හමුවුණු ජ්‍යෙෂ්ඨයන් හරහා විශාල අත්දැකීම් රැසක් ලබාගන්න හැකිවුණා සහ මම රංගනයට පිවිසෙන්නෙත් එලෙස හමුවූ ජ්‍යෙෂ්ඨයන් හරහා. ආචාර්ය කේමදාසයන් තමයි අද මම ඉන්න තැනට එන්න ලැබුණු විශාලම පන්නරය.
කලාකරුවන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙනවා, මේ ගැන ඔබේ අදහස?
ඒ ගැන කතාකරද්දි ලොකුම ගැටලුව තමයි කලාකරුවෝ විධියට අපේ රටේ අපිට කෙළින් හිටගන්න තැනක් නැති වීම. ලෝකයේ බොහෝ රටවල කලාකරුවන්ට රජයෙන් වෙනම වේතනයක් ගෙවනවා. ඒ අයව රකිනවා. එහෙම වුණාම ඔවුන්ට නිදහසේ නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් ලංකාව ඇතුළේ එහෙම දෙයක් නැහැ. කලාකරුවා කියන කෙනාට කම්කරුවෙක් වගේ මුදල් ඉපයීම සඳහා මහන්සි වෙන්න සිදුවෙලා තිබෙනවා. ඇත්තටම ශාරීරිකව, මානසිකව සමහර වෙලාවට කලාකරුවා කම්කරුවන්ටත් වඩා මහන්සි වෙනවා නිර්මාණයකදී. රූපවාහිනියෙන් හෝ රිදී තිරයෙන් දකින දේ හරිම ලස්සන වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා සමහර වෙලාවට රෑ දවල් නැතුව, නින්දක්, කෑමක් නැතුව, විශාල කැපකිරීමක්, කාලය සමඟ යුද්ධයක් කරන්න වෙනවා. මොකද හැමදේම මුදල් මත පවතින නිසා. හොඳ නිර්මාණයක් කරද්දි බජට් එක හරිම සීමිතයි. හොඳට ගෙවීම් සිදුකරන නිර්මාණත් තිබෙනවා ඒත් සීමිතයි. නමුත් හරසුන් නිර්මාණ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ තිබෙන ලොකුම ගැටලුව.
අවසන් වශයෙන් වේදිකාවේ වැඩ කටයුතු සිදුවන ආකාරයත් මතක් කරමු?
මේ දිනවල කුවේණි නාට්‍යය සමඟ තමයි ගොඩක්ම කාර්යබහුල. ඊට අමතරව පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සෙක්කුව නාට්‍යය නව නිර්මාණයක් විධියට එළිදැක්වූවා. ඊට අමතරව ඒකපාත්‍ර නාට්‍ය දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි ලංකාවට ජාත්‍යන්තර සම්මානයක් ලබා දුන් Untouched නාට්‍යය. අනිත් එක Love and lock down නාට්‍යය. ඒ නාට්‍යවලත් පුහුණුවීම් සිදු කරනවා. ඔය කාරණයත් එක්කම අලුතෙන්ම ගුරු ගීතය මඟින් ඔපෙරාවක් නිර්මාණය කරගෙන යනවා. ඒක රුසියානු භාෂාවෙන් කෙරෙන ඔපෙරාවක්. ඒ වෙනුවෙනුත් බරපැන සොයා ගැනීමේ කාර්යයේ ඉඳලා බොහොම මහන්සි වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. වෙන රටක නම් ආර්ටිස්ට තිබෙන්නේ ගිහින් රඟපාලා එන එක. නමුත් අපේ රටේ අපිට රංගනයේ ඉඳලා මුදල් සොයා ගැනීම දක්වාම මහන්සි වෙන්න සිදුවෙලා තිබෙනවා. ඕක තමයි ගැටලුව.
161 Views
Comments