ගල්කිස්සේ තරුණයා ඝාතනය පසුපස කතාව එලියට - වෙඩික්කරු ගුවන් හමුදාවෙන් පැනගිය සෙබළෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ගල්කිස්සේ තරුණයා ඝාතනය පසුපස කතාව එලියට - වෙඩික්කරු ගුවන් හමුදාවෙන් පැනගිය සෙබළෙක්

ගල්කිස්සේ තරුණයා ඝාතනය පසුපස කතාව එලියට - වෙඩික්කරු ගුවන් හමුදාවෙන් පැනගිය සෙබළෙක්

ගල්කිස්ස නගරයේදී 19 හැවිරිදි නගර සභා සේවකයකු පසුපස පන්නාගෙන ගොස් දෙනෝදාහක් දෙනා බලා සිටියදී ඔහුට වෙඩි තබා ඝාතනය කළ පාතාල කුලී ඝාතකයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම ඝාතනය සඳහා යොදාගත් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් ජීව උණ්ඩ 15 ද පොලිසිය සොයාගත් අතර සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ව්‍යාජ යතුරුපැදි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

මෙම කුලී ඝාතකයා ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබළකු වන අතර රුපියල් දස ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත එය සිදු කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

 

බඩෝවිට අසංක සහ කොස් මල්ලි යන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දෙදෙනා අතර කලක පටන් පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබේ. බඩෝවිට අසංක සිය කල්ලියේ ප්‍රධානියකු බව කියන සැන්ඩෝ නැමැත්තාට ලබාදුන් නියෝගයකට අනුව ඔහුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

 

මෙම කුලී ඝාතකයා සමග 19 හැවිරිදි තරුණයා මරා දැමීමට පැමිණි අනෙක් සැකකරු මීට දින තුනකට උඩදී අත්අඩංගුවට පත්වූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මොහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

 

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මන මහතාගේ ප්‍රධාන අධීක්ෂණය යටතේ කළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විහාර මාවතේ පිහිටි නිවසක සැඟවී සිටියදී ය.

 

මෙම කුලී ඝාතකයා මීට ටික කලකට පෙර දෙහිවල කඩවත පාරේ නගර සභා සේවකයකුට වෙඩි තබා පලා යෑමේ සිද්ධියකට ද සම්බන්ධ වූ අයෙකි. එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

 

මෙම ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම කුලී ඝාතකයා අත්අඩංගුවට ගැනීමත් සමගම මේ සම්බන්ධයෙන් සැකකරුවෝ සිව් දෙනකු මේ වනවිට පොලිස් භාරයේ සිටිති.

views

108 Views

Comments

arrow-up