සොයුරාට මරුවා ළඟාකරදුන් බිරිඳගේ නංගිගේ සැමියාම ඩෑන්ගේත් මාරයා වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

සොයුරාට මරුවා ළඟාකරදුන් බිරිඳගේ නංගිගේ සැමියාම ඩෑන්ගේත් මාරයා වූ හැටි

සොයුරාට මරුවා ළඟාකරදුන් බිරිඳගේ නංගිගේ සැමියාම ඩෑන්ගේත් මාරයා වූ හැටි

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් 22 වැනිදා රාත්‍රියේ මියයාමෙන් පසු ඔහු ඝාතනය කළ අය කවුද යන්න කෙරෙහි විවිධ අයට ඇඟිල්ල දිගු විය. ඇතැමුන් කිව්වේ බලයට ආ දා සිට රජයට කොලොප්පම් කරන වීඩියෝ දැමූ නිසා ඝාතනය රජයේ කොන්ත්‍රාත්තුවක් බවයි. තවත් අය මහින්දගේ රහස් එළිකරන නිසා එම පාර්ශ්වයෙන් කළ වැඩක් ලෙස අර්ථ දැක්වූ අතර පාතාල නායකයින්ට එරෙහිවූවෙකු නිසා පාතාල වැඩක් ලෙස මෙන්ම සිය මළනුවන්ගේ ඝාතනයට සම්බන්ධ අයගේ උවමනාවට පුද්ගලික කෝන්තරයකට වූ දෙයක් බවටද මත පළ විය.

 


දැනට ලැබී ඇති තොරතුරු අනුව ඩෑන්ගේ බිරියගේ නැගණියක සම්බන්ධ 'පාතාල පවුල' විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව තොරතුරු අනාවරණය වේ.



ඔහු මියගියේ  වැල්ලම්පිටිය ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ පිහිටි සිය බිරියගේ සහෝදරිය පදිංචි නැන්දම්මාගේ නිවසේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු සාදයකට එක්වෙමින් සිටියදී එම නිවසට පැමිණි නන්නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් රෝහල් ගතකිරීමෙන් අනතුරුවය.



39 වන වියෙහි පසු වූ ඩෑන් ප්‍රියසාද් තිදරු පියෙකු වන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාකරුවකු විය. මැයි මස 09  අරගලකරුවන්ට පහරදීමෙන් පසු ඔහුටද ප්‍රතිප්‍රහාර එල්ල විය.

 

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර සාදයේ සිටි අයෙක් පිටවගොස් තිබූ බව සිදුකරන ලද පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර ඉන් මද වේලාවකට පසු මහල් 12කින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ 6 වැනි මහල දක්වා පඩිපෙල භාවිත කරමින් වෙඩික්කරුවන් දෙදෙනා පැමිණ ඝාතනය සිදුකර තිබුණි.



ඉන් එක් අයෙක් මුඛ ආවරණයක් පැළඳ සිටි අතර අනෙක් පුද්ගලයා හිස් ආවරණයක් පැළඳ දුරකතන ඇමතුමක සිට තිබෙන බව විමර්ශන නිලධාරිහු සඳහන් කරති. අනතුරුව අදාළ ස්ථානයට ගිය වෙඩික්කරුවන් ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර හතක් පමණ එල්ල කර ඇත. ඉන් වෙඩි ප්‍රහාර හතරක්ම ඩෑන් ප්‍රියසාද්ගේ පපුව හා උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිසිය සඳහන් කරයි.



තප්පර 50 ක පමණ කාලයක් පිස්තෝල අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනා පියගැට පෙළ ඔස්සේ පැනගොස් තිබිණි.



මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය ඊයේ එහි ප්‍රධාන සැකකරු බව කියන වෙඩික්කරු අල්ලා ගත් අතර ඔහු ඝාතනයට පාතාල සම්බන්ධයක් හා පුද්ගලික වෛරක්කාර පියපුතු සම්බන්ධයක් ගැන තොරතුරු හෙළි කර ඇත.



මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී මුල සිටම හෙළිවී තිබූ අතර බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.



ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ බාල සහෝදරයා වන තිලිණ ප්‍රසාද් කුමාර නැමැත්තා 2022 වසරේ ජුලි මස 25 වැනිදා වැල්ලම්පිටිය ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කළ අතර එම අපරාධයට අදාළ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුනේ මාස හයකට පසුවය. වැල්ලම්පිටිය පොලිසිය එම සිද්ධියට අදාළ නොවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඔවුන් සැබෑ සැකකරුවන් නොවීම මත වැඩිදුර විමර්ශන එවක පොලිස්පති සීඩී වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබුණි.
 


මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඝාතනයේ සැබෑ අපරාධකරුවන් වූ මෙම පිය පුතු දෙන්නා 2023 වසරේ ජනවාරි මස අවසානයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ඝාතනයට යොදාගත් ආයුධ ද සමගිනි.

 



මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මාධව සුදර්ශන (පුතා) අත්අඩංගුවට ගත් අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ගේ බිරිඳගේ නැගණියකගේ සැමියාය. නමුත් මේ දෙමස්සිනාලා නයි පොලොං වෛරයකින් පසුව ඇත්තේ දෙපාර්ශවය අතර මුල් කාලයේ සිටම ඇතිවූ ආරවුල් නිසා බව කියැවේ.

 


මාධව සුදර්ශන නැමැත්තාගේ පියා වන බන්දුල පියල් නැමැත්තා, ඔහුගේ සහෝදරයෙකු වන රෝහිත නැමැත්තාගේ පුත් දුලංජ නැමැත්තාත්, දුලංජගේ මිතුරෙකු වන ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක විධායක නිලධාරියෙකු ද මෙම සහෝදරයා ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි.



මෙම පවුලේ පියා බන්දුල පියල් නොහොත් 'මීතොටමුල්ලේ බන්දු 'නැමැත්තා මිනීමැරුම් හතකම වගඋත්තරකරුවකු වන බවද පොලිස් විමර්ශන මගින් හෙලිවි ඇත.



මොවුන්ගේ ඉලක්කය ඩෑන් ප්‍රියසාද් වුවත් ඔහු වටා ඇති දේශපාලන හා සිවිල් සංවිධාන නිසා එම උත්සාහය අත්හැරි බවත් ඩෑන්ට රිදවීමේ අරමුණින් සොයරු ප්‍රකාශ්ට පහරදී කකුල් කඩා දැමීමට පමණක් සැලසුම් කළත් අවසානයේ කපා කොටා ඝාතනය කිරීමට සිදුවූ බවත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.



සොයුරා ඝාතනය කිරීමට පළමුව මීතොටමුල්ලේ බන්දුගේ නිවසේ රැස්වී ඒ සඳහා සැලසුම් යොදා තිබේ. ඒ අනුව වාහන කුලී පදනම මත ලබාදෙන පුද්ගලයකුට අයත් වැගන් ආර් රථයක් ඝාතනයට යොදාගෙන ඇත. එම රථය පදවා තිබෙන්නේ මාධවය. එහි පසුපස අසුනේ මීතොටමුල්ලේ බන්දු සහ දුලාන් සිට ඇති අතර බන්දුගේ නිවසේ තිබූ කඩු දෙකක්ද වාහනයේ පටවාගෙන ඇත. මේ අතර සමිත සහ ඔහුගේ මිතුරෙකු වන කසුන් යතුරුපැදියකින් වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශවලට යවා ප්‍රකාශ් නමැත්තා සිටින තැන සොයාගෙන ඇති අතර ඝාතනය සිදුකර තිබෙන්නේ විදුලිය විසන්ධි වී තිබූ රාත්‍රී 07.30 ට පමණය.
 


පසුගිය 20 වැනිදා අවුරුදු උත්සවයකදී  තම සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මාධව සුදර්ශන නැමැත්තාත් ඔහුගේ පියා වන මීතොටමුල්ලේ බන්දු නැමැත්තාත් ඩෑන් ප්‍රියසාද් ට හමුවී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුව ඇත. එම අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් විසින් අදාළ පාර්ශ්වයේ ත්‍රි රෝද රථයකට පහරදී ඇතත් ඒ පිළිබඳ එම පිරිස පොලිසියට පැමිණිලි කර නොමැත.

 


මෙදින මීතොටමුල්ලේ බන්දු නැමැත්තා හා මාධව නැමැත්තා ඩෑන් ප්‍රියසාද්ට 'උඹේ බෙල්ලකපලා අරන් යනවා' යනුවෙන් තර්ජනය කර තිබෙන බවද අනාවරණය වී තිබිණි.

 



මෙම ඝාතනයට අදාළව බන්දු හා මාධව නැමති පිය පුතු දෙදෙනා පදිංචිව සිටින කඩවත කිරිල්ලවල නිවස පොලිසිය විසින් සෝදිසි කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් නිවෙස් වලින් පලාගොස් තිබුණි. මේ ඝාතනය මේ පියපුතු දෙපළ විසින් මෙහෙයවා ඇතැයි මේ වනවිට වෙඩික්කරු පාපොච්චාරණය කර තිබේ.

 



 ඩෑන් ප්‍රියසාද් විසින් පසුගිය දිනවල විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයන් දිවයිනට රැගෙන එන ලෙස බලකරමින් පෝස්ටර් ව්‍යාපාරයක්ද සිදුකර තිබුණි. ඒ හේතුවෙන් කංජිපානි ඉම්රාන්, දෙමටගොඩ චමින්ද හා බටුවත්තේ චාමරනම් අපරාධකරුවන් රැසකගෙන් මරණ තර්ජන එල්ලවී තිබූ බව වාර්තා වේ.එසේම බටුවත්තේ චාමර නැමති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රතිවාදියෙකු වන මෝදර නිපුණ හා කෝපි කඩේ ටෙලිනාට්‍යයේ ප්‍රසිද්ධ චරිතයක සිටි රංගන ශිල්පියෙකුගේ පුත්‍රයා වන චමිල නැමැත්තා සමගින් සිටිමින් ඩෑන් ප්‍රියසාද් කටයුතු කිරීම නිසා බටුවත්තේ චාමර ගේ ප්‍රබල ඉලක්කයක් බවටද ඩෑන් ප්‍රියසාද් පත්ව සිටි බවද පැවසේ.

 



ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වූ වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඔහුගේ බිරිඳගේ මව මෙසේ කියා තිබේ.

 



"බෑනයි, දුවයි ළමයි තුන්දෙනයි ආවා. රතිඤ්ඤා පත්තුවුණා වගේ වෙඩි පත්තු වුණා. අපි හිතුවේ රතිඤ්ඤා කියලා. වෙඩි තියන්න ආව අයව අපි දැක්කේ නැහැ. සද්දේ විතරයි ආවේ. බෑනට වෙඩි වැදිලා එයා වැටිලා හිටියා. මොකක් වුණාද දන්නේ නැහැ අපි. අපි කියන්නේ මේකට සාධාරණයක් ඉටුකරන්න කියලා"

 



කෙසේ වෙතත් මෙම ඝාතනය සැලසුම් සහගතව කරන ලද අපරාධයක් වූ බව පැහැදිලිය. මෙහි ප්‍රධාන සැකය නම් ඩෑන් ප්‍රියසාද් සිය ඥාති නිවසේ භෝජන සංග්‍රහයට පැමිිණීම පවා අපරාධකරුවන් කල් ඇතිව දැන ගැනීමය. ඩෑන්ගේ බිරිඳගේ නැගණිය අද එම නිවසට ඩෑන් එන බව සැමියාට පවසා ඇති අතර සැමියා කුලී ඝාතකයා යොදවා ඝාතනය කරවා ඇති බව දැනයට තොරතුරු අනාවරණය වෙයි.

 


මෙම ගාතනය සම්බන්ධ අත්අඩංගුවට පත්වූ අය අතර ඩෑන්ගේ බිරඑියගේ නැගණිය හා වෙඩික්කරු සිටින අතර මහමොළකරුවන් බවට සැකකරන බන්දු හා මාධව නැමති පිය පුතු දෙදෙනා අල්ලාගැනීමට පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

views

1894 Views

Comments

arrow-up