නඩුවේ ලිපි ගොනුව ඉරා හපා ගිලින්න හැදූ නීතීඥවරියට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

නඩුවේ ලිපි ගොනුව ඉරා හපා ගිලින්න හැදූ නීතීඥවරියට නවතින්න වූ තැන

නඩුවේ ලිපි ගොනුව ඉරා හපා ගිලින්න හැදූ නීතීඥවරියට නවතින්න වූ තැන

කැකිරාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිය නීතිඥ කාර්යාලය පවත්වාගෙන යන කඩ කාමරය කූට ලේඛන සකස් කොට අත්පත් කරගෙන සිටි නීතිඥවරියකට එරෙහිව කැකිරාව දිසා අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට අදාළ මුල් ලේඛන, ලේඛනාගාර ලිපි ගොනුවෙන් ඉරා මුව තුළ දමගෙන හපා ගිලින්නට උත්සාහ කළ නීතිඥවරියක් කැකිරාව පොලිසිය විසින් පෙරේදා (27) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

 

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

 

කැකිරාවේ අධිකරණ සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට පිහිටි කඩ කාමරයක දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතිඥවරියක විසින් කුලී පදනම මත සිය කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ.

 

කාලයක් තිස්සේ මෙම කඩ කාමරය, හිමිකරු විසින් ඉල්ලා සිටියත් නීතිඥවරිය ඉන් පිටවී යෑම ප්‍රතික්ෂේප කර ඇත.

 

මේ සම්බන්ධව කඩ කාමරයේ හිමිකාර නීතිඥවරයා කැකිරාව දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

 

ඒ අවස්ථාවේදී නීතිඥවරිය නීතිඥවරයාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූට ලේඛන දෙකක් ඉදිරිපත් කර ප්‍රකාශ කර ඇත්තේ එය ලක්ෂ විස්සකට ඔහු තමන්ට විකිණූ බවත් දැන් එම කඩ කාමරයේ හිමිකම තමන් සතු බවත්ය.

 

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ එකී අත්සන් තමන්ගේ නොවන බවය. අත්සන පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

 

ඒ අනුව උසාවි නියෝගයක් මත අත්සන පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබිණි. මේ අතර විමර්ශනය කරගෙන යන අවස්ථාවේදී අධිකරණය මෙම නඩුව පවරා ඇති ආකාරය දෝෂ සහිත බව දන්වා තිබිණි.

 

මේ අනුව අගතියට පත් පාර්ශ්වය නඩුව ඉල්ලා අස්කර ගෙන තිබිණි.

 

ඒ අතර අත්සන් පරීක්ෂාව සඳහා යැවූ රස පරීක්ෂක වාර්තාව අධිකණයට ලැබී තිබිණි.

 

එම වාර්තාව අනුව මෙම අත්සන් නොගැළපෙන බවත්, ලේඛනයේ සඳහන් අත්සන ව්‍යාජ එකක් බවත් තහවුරු කර තිබිණි.

 

මෙම ලේඛන පැමිණි වහාම අගතියට පත් පාර්ශ්වය එහි මුල් ලේඛනවල පිටපත් ලබා ගෙන තිබේ.

 

ඒ බව සැල වූ නීතිඥවරිය තමන් වෙත කූට ලේඛන සකස් කිරීම පිළිබඳ නඩුවක් පැවරෙන බව වටහාගෙන එම ලේඛන දෙක සම්බන්ධව ඉල්ලීමක් කිරීමට ලේඛනාගාරය වෙත ගොස් තිබිණි.

 

අධිකරණය වෙත ලද රස පරීක්ෂක වාර්තාව එහි රෙජිස්ට්‍රාර්වරිය විසින් පිටතට ගැනීම සඳහා ලේඛන භාරව සිටින නිලධාරිනිය වෙත සටහනක් යවා ඇති අතර ඇය සේප්පුවෙන් එම ලේඛන පිටතට ගත් අවස්ථාවේ එහි සිටි නීතිඥවරිය එම ලේඛන දෙක ඉරා සිය මුව තුළ දමාගෙන හපන්නට පටන් ගෙන ඇත.

 

එම සිදුවීම මුළුමනින්ම වීඩියෝගත කළ ලේඛනගාර කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව කැකිරාව පොලිස් ස්ථානය වෙත ඒ බව පැමිණිලි කොට තිබේ.

 

ඒ සමගම එතෙන්ට පැමිණි කැකිරාව පොලිසියේ නිලධාරීන් නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇය හපමින් සිටි ලේඛන කොටස් ද සොයාගෙන ඇත.

 

පොලිස් අත්අඩංගුවේ පසුවන නීතිඥවරිය ඊයේ (28) කැකිරාව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

140 Views

Comments

arrow-up