13 වන විවාහ සංවත්සරය සැමරූ විලියම් - කේට් යුවළ - කවුරුත් ආදරය කරන රාජකීය ආදර කතාව මෙන්න (PHOTOS)

ලෝකයේ ම අවදානය දිනූ ආදර කතා අතර කාගෙත් කතාබහට ලක්වන ආදර කතාවක් තමයි විලියම් - කේට් දෙන්නගෙ කතාව.
පහුගිය කාලයේ රජ පවුල ගැන අහන්න ලැබුණේ ම සුබ නොවන ආරංචි.
ඒ ආරංචිවලට බොහෝදෙනාගේ ප්‍රතිචාර ''සුව ප්‍රාර්ථනයක්'' බවට පත්ව තිබුණා.
ඔන්න ඉතින් ඊට කාලෙකට පස්සෙ රාජකීය පවුලට ''සුබ ප්‍රාර්ථනා'' එක්කාසු කළ දවසකි පෙරේදා (අප්‍රේල් 29) දවස. ඒ සුබ ප්‍රාර්ථනා අතරත්, සුව ප්‍රාර්ථනා නොතිබුණා ම නෙවෙයි.
ඊයේ දවස එහෙම විශේෂ වෙන්න හේතුව විලියම් - කේට් ආදර කතාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කිරීම.
දෙන්නගෙ විවාහයට අවුරුදු 13ක්.
ඒ අනුව රාජකීය දෙපළගේ 13 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට "අවුරුදු 13කට කලින් අද'' යන සඳහනත් එක්ක එක්කාසු කර තිබුණු ඡායාරූපය තමයි මේ.
පහුගිය කාලයේ කේට් කුමරියගේ නිහඬතාව එක්ක බොහෝ නිල නොවන ආරංචි පැතිර ගියේ, දෙන්නගෙ ආදර කතාව දෙකඩව ඇති වගත් තෙවැන්නෙක්ගේ පැමිණීමක් සිදුව ඇති බවකුත් වන වග.
ඒවා කොහොම වුණත් සියල්ල අවසන කාගෙත් හදවත් කම්පා කරමින් අහන්න ලැබුණේ ලොවක් ආදරය කරන කේට් කුමරිය පිළිකා තත්ත්වයකින් පෙළෙන බවක්.
ඉතින් කතාව ආරම්භයේ ම අපි කිව්වා වගේ ඇයට සුව ප්‍රාර්ථනා එකතු කරන කාල වකවානුවකයි, ඔවුන්ගේ 13 වන විවාහ සංවත්සරය ගැන අහන්න ලැබෙන්නේ.
2011 වසරේ අප්‍රේල් 29 පැවති විලියම් - කේට් ''රජ මඟුල'' ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණු, ඉහළ නැරඹුම් වාර හිමිකරගත් මංගල උත්සවයක් කිව්වොත් හරි. එදා එලිසබෙත් රැජින විසින් ඔවුන් හට කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය සහ ආදිපාදවරයා යන පදවි නාමයන් ද ප්‍රදානය කරනු ලැබුවා.
රාජකීය යුවළගේ විවාහ සංවත්සරය පිළිබඳව සඳහන් කරමින් වෙස්ට්මිනිස්ටර් ඇබේ හි නිල ට්විටර් ගිණුමෙන් ද වීඩියෝවක් සමඟ සුබපැතුමක් තබා තිබුණා.
41 හැවිරිදි විලියම් කුමරු සහ 42 හැවිරිදි කේට් කුමරියගේ හමුව 2001 වසර දක්වා දිව යන්නක්. ඔවුන් මුණගැසී තිබුණේ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයේ සිසුන් හැටියට.
එහෙම හමුවුණු විලියම් - කේට් යුවළ අද වන විට ජෝර්ජ් කුමරු (10) චාලට් කුමරිය (8) සහ පසුගිය සතියේ 6 වන වියට පා තැබූ ලුවී කුමරුගේ දෙමාපියන්.
පෙර කී පරිදි වේල්ස් කුමරුගේ සහ කුමරියගේ විවාහ සංවත්සරය යෙදී ඇත්තේ කේට් කුමරිය පිළිකාවකට ප්‍රතිකාර ගන්නා බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව.
ගෙවුණු මාසයේ වීඩියෝවක් නිකුත් කරමිනුයි කේට් කුමරිය තමාගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලෝකයටම දැනුම් දුන්නේ.
එහිදී ඇය අවධාරණය කළේ තමා සහ විලියම් කුමරු "ජෝර්ජ්, චාලට් සහ ලුවීට සෑම දෙයක්ම ඔවුන්ට සුදුසු ආකාරයෙන් පැහැදිලි කිරීමටත්, ඇය හොඳින් සිටින බවට ඔවුන්ට සහතික වීමටත් කාලය ගත කළ" බව.
පිළිකා තත්ත්වය ගැන තොරතුරු වාර්තා කරන්න පෙර සිට ම කේට් කුමරිය ගැන වැඩි අවදානයක් යොමුවයි තිබුණේ. ඒ ඇය මුහුණ දුන් උදර ශල්‍යකර්මය නිසාවෙන්.
කොහොම නමුත් කේට් කුමරිය සිය ජීවිතයේ අසීරු කාලයක් පසුකරන අවදියක විලියම් කුමරුගේ ක්‍රියාකලාපය බොහෝදෙනාගේ අවදානය දිනාගෙන තිබුණා.
ඒ, ඔහු ආදරණීය සැමියෙක් සහ පියෙක් හැටියට කටයුතු කරන ලද ආකාරය සම්බන්ධව.
"ඔහු ඉතා විශ්වාසවන්ත, ශක්තිමත් පුද්ගලයෙකි.
ඇය අසලම සිටින විලියම් නිසා ඇයට මේ තුළ හුදකලා බවක් දැනෙන්නේ නැත...."
යන්නෙන් ඔවුන්ගේ සමීප මිතුරෙක් ද වරක් කළ ප්‍රකාශ කර තිබුණා....
3049 Views
Comments