ලක්ෂ 7 මදි කියා සිංදු නොකියා ගිය 'වස්ති' නිසා මැදිරිගිරිය ඇවිලුණු හැටි

පසුගියදා මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ කලබලකාරී තත්ත්වයක් හේතුවෙන් රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් දේපළවලට හානි සිදුවී තිබුණි.
මෙම සිදුවීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ප්‍රචාරණය කර තිබූ ප්‍රකට සංගීත ශීල්පී යුගළයක් වන 'වස්ති' එම සංගීත ප්‍රසංගයට පැමිණ සිටියද ගීත ගායනා නොකර වේදිකාවෙන් ඉවත්ව යාමයි.
මෙම සංගීත ප්‍රසංගය RC Event Management විසින් සංවිධානය කර තිබූ අතර, ඔවුන් පවසන පරිදි ප්‍රසංගය සඳහා ගීත දෙකක් ගායනා කිරීමට වස්ති රුපියල් ලක්ෂ 9 ක් ඉල්ලා තිබී ඇත.අත්තිකාරම් ලෙස ලක්ෂ 7 ක් 'කෑෂ්' ආකාරයට ගෙවා තිබෙන අතර ඉතිරිය පසුව ලබාදීමට එකඟතාවයෙන් සිට ඇත.
නමුත් ඔවුන් ප්‍රසංගය සඳහා ප්‍රමාදවී පැමිණ පවසා ඇත්තේ දැන් වේලාව නැති බවත් ගීත එකක් පමණක් කීමට හැකි බවත්ය. එම අවස්ථාවේ සංවිධායකයින් ලක්ෂ 7 කට සිංදු එකක් කීම සාධාරණ නොවන බව පවසා ඇති අතර මෙම ගනුදෙනු නොපැහීමේ ප්‍රතිඵලයක් ලෙස පෙරවරු 1.20 වනතුරු වස්ති එනතුරු පමාකර පවත්වා ගිය ප්‍රසංගයේ වස්ති ගීත නොගයාම වේදිකාවෙන් බැස ගොස් තිබේ.
සංවිධායකවරු පවසන්නේ මුදල් ගෙවීම මුල් කරගෙන පැමිණ සිටි අයගේ බලාපොරොත්තු බිඳ දමන්නට තරම් සැහැසි ආකාරයට වස්ති කටයුතු කර තිබූ බවයි.
මින් කෝපයට පත් නරඹන්නන් රුපියල් කෝටි තුනකට වඩා හානි කරමින් කලබලයක් ඇති කරේ මේ කිසිවකට වගකිව නොයුතු සංගීත වාදක කණ්ඩායමේ උපකරණ විනාශ කරමිනි.
මෙම ප්‍රසංගයේදී ප්‍රමුඛපෙළේ ගායන ශිල්පීන් වන ශාන් පුතා, හනා, අමේලියා සහ වස්ති මෙම ප්‍රසංගයට සහභාගීවන බව පූර්ව ප්‍රචාරණය කර තිබූ අතර පිරිස ආවේ ඔවුන්ගේ ගීත රසවීඳීමටය.
සංගීත ප්‍රසංගය සඳහා මැදිරිගිරිය, කන්තලේ, දඹුල්ල, හබරණ, පොලොන්නරුව ප්‍රදේශවලින් පමණක් නොව ගම්පහ සහ කුරුණෑගල වැනි දුරබැහැර ප්‍රදේශවලින් ද විශාල පිරිසක් සහභාගී වී තිබූ අතර ප්‍රසංගය සඳහා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර රුපියල් 1,000ක් සහ VIP ප්‍රවේශපත්‍ර රුපියල් 2,500ක් ලෙස අයකර තිබිණි.
කෙසේ වෙතත්, ශාන් පුතා නම් ගායකයා නීති විරෝධි ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම නිසා ඔහු වෙනුවට රොමේෂ් නම් ගායකයා සහභාගී කරවා ගෙන තිබේ.
ගායන ශිල්පිනියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන හනා ප්‍රසංගයට සහභාගී වී තිබෙන අතර, රසිකයින් විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් සිටි වස්ති පැමිණියද ගීත ගායනා නොකර වේදිකාවෙන් ඉවත්ව යාම ගැටලු මතු කළේය.
මෙම සිදුවීම ගැන වස්ති ගතවූ දින කිහිපය තුළ අවස්ථා දෙකකදී කථාකර ඇති මුත් පැහැදිලි පිලිතුරක් පවසා නැත.
ඔවුන් ඊට පසුදා ගාල්ලේ පැවති ප්‍රසංගයකට එක්වී කියා සිටියේ තමන් එම ස්ථානයට 11 වනවිටත් ගොස් තිබූ බවත් වරදක් වූයේ තමන් පැත්තෙන් නොවන බවයි. කෙසේ වෙතත් පොලිසියේ විභාගවන කරුණක් නිසා ඊට එහා යමක් කියන්නේ නැතැයි පවසා තිබේ.
අනතුරුව යූටියුබ් නාලිකාවක් මේ ගැන කළ විමසීමකදී වස්ති පවසා සිටින්නේ ගතවූ සතියේ මියුසික් වීඩියෝ නිසා තමන් කලබලකාරී වු බවත් විදෙස් රූගත කිරීමක් ලංකාවේ කරන්නට සිදුවූ බවත් ඒ නිසා ඇතිවූ කාර්යබුහලත්වය මෙම ප්‍රශ්නයට මුල් වූ බවත්ය.
ලැබී ඇති තොරතුරු අනුව, වස්ති ගායකයාට සංගීත ප්‍රසංගය සඳහා රුපියල් ලක්ෂ 9ක මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ 7ක් පෙර ගෙවා තිබී ඇත.
ඉතිරි මුදල ප්‍රසංගය අවසානයේ නොව ආරම්භයේදී ගෙවීමට නියමිතව තිබුණද, එම ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් වස්ති ගීත ගායනා නොකර ප්‍රසංග භූමියෙන් පිටව ගොස් ඇතැයි චෝදනා එල්ල වී තිබේ.
ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ රාත්‍රී කාලයේදී වුවද, පැය ගණනක් පමා වීමෙන් පසුව පාන්දර 1.20 පමණ වන තුරු ප්‍රේක්ෂකයින් වස්ති ගායකයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිට ඇත. කෙසේ වෙතත්, ප්‍රසංගය පාන්දර 1.30ට අවසන් කරන බව නිවේදනය කිරීමත් සමඟ ප්‍රේක්ෂකයින් කෝපයට පත්ව ඇති අතර, ඉන්පසුව කලබලකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
කලබලය අතරතුර සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ, ආලෝක කණු, ශබ්ද විකාශන යන්ත්‍ර, කැනපි, පුටු ආදී දේපළ රැසකට හානි සිදුවී ඇති අතර, මෙම හානිය රුපියල් කෝටි 3කට අධික වන බව මැදිරිගිරිය පොලිසිය තක්සේරු කර ඇත. ප්‍රසංගයේදී භාවිතා කරන ලද Avatar නම් සංගීත කණ්ඩායමේ උපකරණවලට ද විශාල වශයෙන් හානි සිදුවී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කලබලකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින බවද වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සහ ප්‍රතිචාර දැක්විණි. එක් පණිවිඩයක "වස්ති වස්තියක්ම වෙයි වගේ. ලක්ෂ 7ක් දීලත් ඉතුරු දෙක දුන්නෙ නෑ කියල සිංදුවක් කියල නෑ. ඒ නිසා කෝටි ගානක සෙටප් එකක් විනාශ වුනා" යනුවෙන් සඳහන් කර ඇත.
තවත් සමහරුන් "මේ සංගීත බඩු විනාස කරපු උන්ටත් නීතිය ක්‍රියාත්මක කරල උන්ගෙන් පාඩුව අය කර ගත යුතුමයි කොහෙම හරි" යනුවෙන් අදහස් දක්වා තිබේ.
මෙම සිදුවීම පිළිබඳව සමාජයේ විවිධ ස්ථරවල පුද්ගලයින් විවිධ අදහස් පළ කර ඇත. සමහරුන් ප්‍රකාශ කරන්නේ "සංගීත ක්ෂේත්‍රයට එන්න ඕන සංගීතය ඉගෙන ගත්තු මිනිස්සු මිසක් ජෝකර්ලා නෙවෙයි" යන්නයි. මේ තුළින් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මහජන අප්‍රසාදය ද පිළිබිඹු වේ.
තවත් සමහරුන් සංගීත ප්‍රසංග සංවිධායකයින්ට බලපෑම් කරමින්, "ප්‍රවීන ගායකයන්ට තැන දෙමු දැන්වත්.. අපේ දරුවන්ට වටිනා ගීත ඇසෙන්න දෙමු දෙයක් ඉගෙන ගන්න පුළුවන්" යනුවෙන් සඳහන් කර ඇත.
178 Views
Comments