වසර 19කට පසු වෛද්‍ය අනතුරු ඇඟවීම් නොතකා බොක්සිං වළල්ලට ආ මයික් ටයිසන්, ජේක් පෝල් හමුවේ පරාජයට පත්වෙයි

අමෙරිකානු වෘත්තීය බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් වසර 19කට පෙර කළ සිය අවසන් තරගයෙන් පසු, යළි බොක්සිං වළල්ල වෙත පිවිසියා.
ඒ, ඩලාස් හි AT&T ක්‍රීඩාංගනයේ දී 27 හැවිරිදි යූ ටියුබර් ජේක් පෝල්ට එරෙහිව වෘත්තීය වශයෙන් තරග කිරීම සඳහායි.
මෙම තරගය ලොවපුරා බොක්සිං ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවෙන් බලාසිටි තරගයක් වූ අතර, 58 හැවිරිදි ටයිසන් පරාජය කර ඉන් ජය ගැනීමට ජේක් පෝල් සමත් වුණා.
බොක්සිං පුරාවෘත්තයක් වන මයික් ටයිසන් තමා හමුවේ ලද පරාජය, ජේක් පෝල් හට වඩාත් සුවිශේෂී වනු ඇති.
තරගය අවසානයේ පෝල් පවසා තිබුණේ, මයික් ටයිසන් සමඟ සටන් කිරීමට හැකිවීම තමන්ට ගෞරවයක් වන බවයි.
1985 සිට 2005 දක්වා සක්‍රීයව ක්‍රීඩා කළ ටයිසන්, පසුකාලීනව ස්නායු සම්බන්ධ ගැටළුවලින් පෙළෙන බවයි වාර්තා වූයේ.
මයික් ටයිසන්ගේ මෙම ආගමනය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා තරමක අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබුණා.
විදෙස් වාර්තාවන්ට අනුව, වේල් කෝනෙල් වෛද්‍ය විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ සායනික සහකාර මහාචාර්ය වෛද්‍ය නිතින් කේ සෙති සඳහන් කර ඇත්තේ ටයිසන්ගේ මුළු වෘත්තීය ජීවිතයම කැපකිරීම් ගොඩක් වන නිසාවෙන් ඔහු නැවත වළල්ලට පිවිසීමේදී ස්නායු ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවයි.
එමෙන්ම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, බොක්සිං වැනි ක්‍රීඩාවක නියැලෙන සටන්කරුවන් වයස අවුරුදු 40 ට වැඩිය සටන් කරන්නේ නම්, තවදුරටත් සෞඛ්‍ය සම්බන්ධයෙන් "ඉහළ අවදානමක්" පවතින බවයි.
171 Views
Comments