මුදල් අච්චු ගැසීම විසදුමක්ද? මේ දිනවල නිවාඩු නැති මුදල් අච්චු ගසන මැසිම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

මුදල් අච්චු ගැසීම විසදුමක්ද? මේ දිනවල නිවාඩු නැති මුදල් අච්චු ගසන මැසිම

මුදල් අච්චු ගැසීම විසදුමක්ද? මේ දිනවල නිවාඩු නැති මුදල් අච්චු ගසන මැසිම

මේ දවස් වල වැඩ ඉවර නැති මුදල් අච්චු ගසන මැසිම...

රටක මුදල් අච්චු ගැසීමේදී භාවිතා කරන සරළම ක්‍රමවේදය නම්, ඒ රටේ නිපැයෙන ආර්ථික නිශ්පාදන වලට සාපේක්ෂව මුදල් නිර්මාණය කිරීම ය. එය මෙසේ සරළව පැහැදිලි කල හැකිය.

 

අප රටක් විදියට එකතු වී මේ වනතෙක් නිශ්පාදනය කල හා රැස් කල සම්පත් වල මුළු වටිනාකම අලියෙකු නම්, අප මෙතෙක් අලියෙකු බරට මුදල් අච්චු ගසා තිබේ. එනම්, රට සතු වත්කම්/නිශ්පාදන වල මුළු වටිනාකම අලියෙකි. ඒ අලියාගේ වටිනාකමට සමානව මුදල් ඇති කර තිබේ. එවිට අලියා දී මුදල් ද මුදල් දී අලියා ද හුව මාරු කර ගත හැකිය.

 

සෑම වසරකම රටක ආර්ථිකය වර්ධනය වෙයි. අපි එයට ආර්ථික වර්ධන වේගය යැයි කියමු. එනම්, සෑම වසරකම ඊට පසු ගිය අවුරුද්දට සාපේක්ෂ අපි නිශ්පාදනය කරනු ලබන සම්පත් ප්‍රමාණය බොහෝ විට ඉහළ යයි. එනම්, අපේ අලියා ගේ ප්‍රමාණය අවුරුදු පතා ටික ටික වැඩි වී තිබේ. එවිට ඒ අලියාගේ වැඩි වන ප්‍රමාණයට සාපේක්ෂව අපි මුදල්ද අච්චු ගැසිය යුතුය. එනම්, මෙහි පදනම වන්නේ අලියා වැඩි වන විට ඒ බරට ගැලපෙන්නට මුදල් අච්වු ගැසීම ය. ඔබගේ මුදලේ අගය තීරණය වන්නේ ඔබ නිශ්පාදනය කර ඇති අලියාගේ ප්‍රමාණය මතය. ඔබ අලියෙකු නිශ්පාදනය කර නොමැති නම් ඔබ මුදල් යැයි කියනා කඩදාසි හෝ කාසි වල වටිනාකමක් නැත.

 

දැන් හිතන්න, ඔබ අලියාව වර්ධනය කර ගන්නවට වඩා විශාල ප්‍රමාණයක් සල්ලි අච්චු ගැහැව්වා කියලා! රටේ හැබෑ වටිනාකම තියෙන්නේ මුදලේ නෙවෙයි අලියගේ. ඒ නිසා අලියා ලොකු උනේ නැතුව මුදල් විතරක් ලොකු උනොත්, එක මුදල් ඒකකයක වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ මුදල අවප්‍රමාණ වෙනවා.

 

දැන් අපි මේක රටට දාලා බලමු.

 

වසර 2020 දී අපේ ආර්ථික සංවර්ධන වේගය සෘණ 3.6 යි. ඒ කියන්නේ ඇත්තෙන්ම අලියා ලොකු උනේ නෑ, කුඩා උනා. හැබැයි අපි සල්ලි අච්චු ගැහැව්වා අම්බානක. කොච්චරද කිව්වොත් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය 24% කින් වැඩි උනා. ඒ කියන්නේ අලියා 3.6 කින් කුඩා වෙනකොට මුදල් 24%කින් වැඩි උනා. එතකොට එක මුදල් ඒකකයක වටිනාකම ගොඩක් අඩු වෙනවා.

 

ඒ කියන්නේ කලින් අලියගෙන් කිලෝ එකක් රුපියල් 1000 ට සමාන නම්, දැන් ඒ කිලෝ එකක් 1240 කට වැඩියි.

 

ඕන්න ඔහොමයි උද්ධමනය හැදෙන්නේ.

 

අපි 2019 දෙසැම්බර් මාසයේ සිට , 2021 ජුනි මාසය දක්වා, අලුතින් අච්චු ගසා නිර්මාණය කර ඇති මුළු මුදල් කඩදාසි වල ලියපු වටිනාකම් ප්‍රමාණය, රටේ සමස්ථ මුදල් ප්‍රමාණයෙන් 35% ක්. මෙය ඉතා විශාල මුදල් සැපයුමක්.

 

ඒකයි දැන් අධික උද්ධමනයක් රටේ දකින්නට ලැබෙන්නෙ. උද්ධමනය අධික වෙනකොට රටේ මුදල් වැඩි වෙන කොට පිටරටින් භාණ්ඩ ගෙන්වන එක වැඩි වෙනවා. එතකොට නිකම්ම ආනයන ඉහළ යනවා. වෙළඳ ශේෂය ඉහළ යනවා. Current account deficit එකක් එනවා. විදෙස් සංචිත අඩු වෙනවා. ඉතිං ඒවා නවත්තන්න බාධක ආණ්ඩුවෙන්ම දානවා.

 

රට තුල අධික මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් හඹා යෑම නිසා මෙලෙස මිළ ඉහළ යෑමක් සිදු වෙනවා. ඩොලර් හිඟ වෙලා, රුපියල් වැඩි උනාම, ඩොලර් ඉල්ලුමත් ඉහළ ගිහින්, ඩොලරයේ මිලත් ඉහළ යනවා. මේක බැඳුණු එකම චක්‍රයක්.

 

ඉතිං මහ බැංකුවේ අධිපතිට ආතතිය හැදිලා ඉල්ලා අස්වෙන්න වෙන එක සාධාරණ යි. හිතු මනාපෙට සල්ලි අච්චු ගහන කොට, ආර්ථිකයක් ස්ථාවර වෙන්නේ නෑ. මුදල් අච්චු ගහන වාරයක් පාසා ආර්ථිකය වෙනස් වෙනවා, දුර්වල වෙනවා.

 

ඔබ මේ දකිමින් සිටින්නේ එහෙම කාලයක්. කෙදිනකවත් ස්ථාවර නොවුණ.

 

ඇයි දිගටම අච්චු ගහන්නේ?

ආයේ දවසක ඒකට ලියන්නම්.

 

 

 

 

උපුටා ගැනීම : Pathum Kerner නිල facebook පිටුවෙනි..

views

684 Views

Comments

arrow-up