මත්තල ගුවන් තොටුපොළ අඛණ්ඩව පාඩු ලබා ඇති බව හෙළි වේ

ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන්නේ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව යි. ඒ, 2021 සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ, වාර්ෂික වාර්තාවේ නිරීක්ෂණ ඉදිරිපත් කරමිනි. එම වාර්තාවට අනුව 2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 කි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවත්, පසුගිය වසර පහ තුළ පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91747 ක් පමණක් බවද එම වාර්තාව පෙන්වා දේ. විගණන කාර්යාලය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ, එවැනි හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායී ලෙස භාවිත කර නැති බවයි. එසේම, එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ, රත්මලාන ගුවන් තොටුපොළ ද අඛණ්ඩව පාඩු ලබා ඇති බවයි. 2017 සිට 2021 දක්වා කාලය තුළ රුපියල් මිලියන 1693 කට වැඩි අලාභයක් රත්මලාන ගුවන් තොටුපොළ ලබා ඇති බවයි.
284 Views
Comments