මොනවද මේ විටමින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

මොනවද මේ විටමින්

මොනවද මේ විටමින්

ශරීරයේ වර්ධනයටත්, සෞඛ්‍ය සම්පන්නව සිටීමට හා ලෙඩ රෝගවලින් සුවය ලැබීමටත් ශරීරයට ශක්තිය ලබා ගැනීමටත් ආහාර අවශ්‍ය වේ. ආහාරවලින් කුසගින්න නිවෙනවා සේම තෘප්තිමත්භාවයක්ද ලැබෙන අතර එබැවින් නිවැරදි ආහාර රටාවක් පවත්වාගෙන යාම කායික හා මානසික යහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙයි. පුද්ගලයන් වශයෙන් අප විසින් ලබා ගන්නා ආහාරවලින් සිරුරට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම් මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක යන දෙවර්ගයයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ යනාදිය මහා පෝෂක වශයෙන් හඳුන්වන අතර විටමින් සහ ඛනිජලවණ ක්ෂුද්‍ර පෝෂක යනුවෙන් හැඳින්වේ. පුද්ගලයකුගේ ශරීරයේ මනා පැවැත්ම සඳහා මෙම පෝෂ්‍ය පදාර්ථ වර්ග දෙකම අත්‍යවශ්‍ය වේ. ක්ෂුද්‍ර පෝෂක යටතේ එන විටමින් වලට අදාලව කාණ්ඩ කිහිපයක් පවතී. එම විටමින් කාණ්ඩ සහ ඒවා අඩංගු ආහාර වර්ග පිලිබඳවත් එම විටමින් කාණ්ඩ සිරුරට ඉටුකරන සේවය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


විටමින් A යනු සිරුරට අත්‍යවශ්‍යම විටමින් කාණ්ඩයකි. ඕනෑම පුද්ගලයකුට ශරීරයට අවශ්‍ය විටමින් A යහමින් ලබාගැනීමට නම් ඔහු හෝ ඇය විසින් කහ පැහැති හෝ තද කොළ පැහැති එළවළු සහ පලතුරු, සත්ව අක්මා, බිත්තර කහ මද, කිරි සහ කිරි ආහාර යනාදිය තම ප්‍රධාන ආහාර වේල් වලට එක්කර ගත යුතු වේ. විටමින් A කාණ්ඩය සිරුරට ලැබීම මගින් රාත්‍රී පෙනුම වර්ධනය වීමත්, ප්‍රතිශක්තිය වැඩි වීමත් සහ අස්ථි වර්ධනය වීමත් සිදුවේ. තවද පුද්ගලයන්ගේ ප්‍රජනක සෞඛ්‍ය රැකගැනීම සඳහා මෙන්ම සමෙහි සෞඛ්‍ය රැකගැනීම සඳහා ද මෙම කාණ්ඩයේ විටමින් දායක වනු ඇත. විටමින් B කාණ්ඩය යටතේ B1, B2, B6 සහ B12 යනුවෙන් තවත් විටමින් අනු කාණ්ඩ කිහිපයක්ම පවතී. නිවුඩු සහිත සහල්, කිරි, බිත්තර කහ මද, පීකුදු, ඇට වර්ග සහ සෝයා බෝංචි යනාදිය ආහාරයට ගැනීම තුළින් මෙම කාණ්ඩයේ විටමින් යහමින් සිරුරට ලබා ගැනීමට පුද්ගලයන්ට හැකියාවක් පවතී. මෙම කාණ්ඩයේ විටමින් සිරුරට ලබා ගැනීම මගින් පුද්ගලයන්ගේ හෘදය ,ස්නායු හා ජීරණ පද්ධති වල මනා ක්‍රියාකාරිත්වයක් ඇති වේ. එමෙන්ම ඇඹුල් සහිත නෙල්ලි, දොඩම් සහ නාරං වැනි සිට්‍රික් කුලයේ පලතුරු වර්ග ආහාරයට ගැනීම තුළින් විටමින් C කාණ්ඩය පහසුවෙන්ම සිරුරට ලබා ගත හැකිවේ. අවශ්‍ය ප්‍රමාණයට විටමින් C සිරුරට ලබා ගැනීම තුළින් ශරීරයේ පටක වර්ධනය වීම සහ අලුත්වැඩියාව, තුවාල සුව වීමට උදව් වීම,ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දායක වීම යනාදී වාසි රැසක්ම හිමිවේ. තවත් විශේෂිත ම විටමින් කාණ්ඩයකි විටමින් D. චීස්, බටර්, බිත්තර කහමද, යොදය සහිත කිරි, මාලු තෙල් යනාදිය ආහාර වලට එක්කර ගැනීම මගින් විටමින් D කාණ්ඩය සිරුරට ලබා ගැනීමට හැකිවේ. තවද උදෑසන හිරු එළියෙන් විටමින් D ස්වභාවිකවම මිනිස් සිරුරේ නිෂ්පාදනය වේ. මෙම කාණ්ඩයේ විටමින් නිසාවෙන් පුද්ගලයන්ගේ ශරීරයේ පවතින අස්ථි, දත්, පටක යනාදිය වර්ධනය වීමක් සිදුවේ. සෞඛ්යමත් සමක් පවත්වා ගැනීමට නම් පුද්ගලයන් වශයෙන් අප විසින් අපගේ ආහාර වේලට එක්කර ගත යුතු තවත් විශේෂිත විටමින් කාණ්ඩයකි විටමින් E. පීකුදු, බිත්තර කහමද, බටර්, කොළ පැහැති එළවළු සහ ධාන්‍ය වර්ග යනාදිය තුළින් විටමින් E යහමින් සිරුරට ලබා ගැනීමට හැකියාවක් පවතී. තව ද රුධිරය කැටි ගැසීමට උපකාරී වන විටමින් K කාණ්ඩය ශරීරයට ලබා ගැනීමට නම් පුද්ගලයන් විසින් නිවිති ,සෝයා බෝංචි, බ්‍රොකොලි, ගෝවා, කැරට්, මල්ගෝවා, බෝංචි, මිදි, පෙයාර්ස් සහ වියලි මිදි යනාදිය ආහාර වශයෙන් ලබාගත යුතුයි.


ඔබත් අදම මෙම විටමින් කාණ්ඩ වලින් පරිපූර්ණ ආහාර වර්ග ප්‍රධාන ආහාර වේල් වලට යහමින් එකතු කරගනිමින් නීරෝගිමත් ජීවිතයක් උදාකර ගන්නට අමතක නොකරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

953 Views

Comments

arrow-up