උපන් දිනය සමරන ජනතා විමුක්ති පෙරමුණ

මේ වන විට ශ්‍රී ලංකාවේ නැගී එන ප්‍රධාන වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දිනය අද වේ. ඒ අනුව අද දිනට එම පක්ෂයේ 58 වන සංවත්සරය යෙදී තිබේ.
1965 මැයි මස 14 වන දා ගාල්ල, අක්මීමන දී රෝහණ විජේවිර මහතා ප්‍රමුඛ හත්දෙනෙකු කළ තීරණාත්මක සාකච්ඡාව මගින් මෙම විප්ලවාදී ව්‍යාපාරයක ආරම්භය විය.
ඒ අනුව එහි නිර්මාතෘවරයා බවට රෝහණ විජේවීර පත්වේ.
1943 ජූලි 14 වන දා මාතර දී උපත ලැබූ රෝහණ විජේවිර 1960 දී සිය උසස් අධ්‍යාපන සදහා ඇතුලත් වූයේ සෝවියට් දේශයේ ලුමුම්බා මිත්‍රත්ව සරසවියටයි.
එහි වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී නිවාඩු හිමිවී 1964 වසරේදී මෙරටට පැමිණියත් වීසා නොදීම මත යළි සෝවියට් දේශයට යාමට නොහැකි වූ විජේවීර මෙරට නිර්ධන පන්තියේ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියාකිරීමට තීන්දු කළ බව ජනතා විමුක්ති පෙරමුණු ඉතිහාසයේ සඳහන් ය.
ඒ අනුව විජේවීරගේ නායකත්වය යටතේ 1971 වසරේ ආණ්ඩු විරෝධි අරගලයට සම්බන්ධ වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ පසුබෑමටකට ලක්විය.
යළි එම පෙරමුණ ක්‍රියාකාරී මාවතට පිවිසුණේ 1976 වසරේ අග භාගයේ සිට ය.
1977 මහමැතිවරණයෙන් පසුව එතෙක් සිරගතව සිටි රෝහණ විජේවීරට ද නිදහස හිමිවිය.
ඒ අනුව 1982 ලියාපදිංචි දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණ සටනට අවතීර්ණ වීමට සූදානම්ව සිටියේය.
එහෙත් ජනාධිපතිවරණය වෙනුවට පැවති ජනමත විචාරණය හේතුවෙන් ඔහු එය පරාජය කිරීම උදෙසා සටනට අවතිර්ණ විය.
රෝහණ විජේවීරගේ එදා කළ කතාවක කොටසක් මෙසේ ය.
"අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ මේ රටේ 40 ලක්ෂයක් වු කම්කරු පක්ෂයෙන් ඉලන්නේ අවධියෙන් ඉන්න. ඇයි? ජනතාවගේ අයිතිය උදුරාගන්න ඔය කාටවත් අයිතියක් නැහැ."
1983 වසරේදී පක්ෂය යළි තහනම් කෙරිණ.
පසුව 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග දේශප්‍රේමී අරගලයට ජනතා විමුක්ති පෙරමුණ යළිත් නායකත්වය දුන්නේය.
වසර ගණනාවක් සැඟව ජීවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 12 වැනිදා ය.
ජනතා විමුක්ති පෙරමුණු වාර්තාවන්ට අනුව එහි ඉදිරිපෙල නායකයෙකු වූ සෝමවංශ අමරසිංහ මහතා 1990 වසරේදී රටින් පිටව තිබේ.
සිය නායකයාගේ මරණයෙන් පසුව විදේශයක සිට පක්ෂය මෙහෙය වූ ඔහු යළි මෙරටට පැමිණියේ 1994 වර්ෂයේදී ය.
වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වගකීම් ඉසිලු සෝමවංශ අමරසිංහ මහතා පක්ෂය මෙහෙයවීමේ වගකීම අනුර කුමාර දිසානායක මහතාට පැවරීමෙන් පසු ධූරයෙන් සමුගත්තේ ය.
ඒ අනුව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ නියමුවා වන්නේ අනුර කුමාර දිසානායක මහතා යි.
1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා තඹුත්තේගමදී උපන් අනුර කුමාර දිසානායක මහතා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තේය.
දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණයට සම්බන්ධ වූයේ 1987 වසරේදී ය.
ඔහු 1988 වසරේදී පුර්ණකාලීන දේශපාලනයට පිවිස 95 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයට පත්විය.
එම වර්ෂයේදීම ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාවට තේරී පත් වු අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත්වුණේ 1998 දී ය.
2000 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 වසරේ දී කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍ය ධුරයද හෙබවිය.
2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරයට පත් ඔහු එතැන් පටන් මන්ත්‍රීවරයෙකු ලෙසින් සිය සේවය ජනතාවට ඉටු කළේය.
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ජන බලවේගය නමින් පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනගා රටේ ඊළඟ බලය මෙහෙයවන කණ්ඩායම බවට පත්වීමේ අරමුණින් කටයුතු කරමින් සිටී.
397 Views
Comments