තාක්ෂණයෙන් ඉහළටම ගියත් පිරිසිදුකමෙන් අඩුවක් නැති ලොව සුපිරිම රටවල් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

තාක්ෂණයෙන් ඉහළටම ගියත් පිරිසිදුකමෙන් අඩුවක් නැති ලොව සුපිරිම රටවල් මෙන්න

තාක්ෂණයෙන් ඉහළටම ගියත් පිරිසිදුකමෙන් අඩුවක් නැති ලොව සුපිරිම රටවල් මෙන්න

රටක පරිසරය පිරිසිදු වීම එහි ජීවත් වන ජනතාවගේ ජීවිත යහපත් වීමට දැඩි සේ බලපායි. රටේ ජනතාවගේ නිරෝගීභාවයට මෙන්ම සංචාරක ක්ෂෙත්‍රයේ දියුණුවටද එය ඉතා වැදගත් වේ. 

 

 

පාරිසරික පවිත්‍රතාවයේ වැදගත්කම පෙන්වීමට ගෝලීය දර්ශකයක් මගින් ලෝකයේ පිරිසිදුම රටවල් පිළිබඳව සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත. ඒ Environmental Performance Index (EPI) එකට අනුව ඇමරිකාවේ කොලොම්බියා ප්‍රාන්තයේ යේල් සරසවිය, World Economic Forum සමග එක්ව රටවල් 180 ක දත්ත එක්රැස් කිරීමෙන් සිදු කළ සමීක්ෂණයකිනි. 

 

 

තාක්ෂණය සමග ඉදිරියට යන විට පරිසරය, සොබාදහම පිරිහීමට ලක්වන බව අවිවාදයෙන්ම අද ලෝකයේ පිළිගන්නා කරුණක් වී ඇත. නමුත් මේ මතයට අභියෝග කරමින් යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක් වන ජර්මනිය EPI දර්ශකයේ 77.6% ක අගයක් ලබාගනිමින් ලොව පිරිසිදුම රටවල් අතුරින් 10 වන ස්ථානයට පත්ව තිබේ. තාක්ෂණය ඔස්සේ හිනි පෙත්තටම ගොස් සිටින ජර්මනිය එරට පාරිසරික සුරක්ෂිතතාව ආරක්ෂා කරගෙන තිබීම ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයකි. රටේ ආර්ථිකයට බාධාවක් නොවන පරිදි කර්මාන්ත ඉහළ නංවමින් ඒවායේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයක් ඔවුන් හඳුන්වා දී ඇත. ඉන්ධන භාවිතා කරන වාහන වෙනුවට බැටරි මගින් ක්‍රියාත්මක වන වාහන වලට හුරු වීමත් ඔවුන් අනුගමනය කර ඇති තවත් ක්‍රමවේදයක් වේ.  

 

 

ලොව වැඩියෙන්ම සතුටින් සිටින මිනිසුන් ඇති රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධ නෝර්වේ රාජ්‍ය මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ සිටී. EPI දර්ශකයේ 77.7% ක අගයක් ගන්නා නෝර්වේ යනු ලොව පිරිසිදුම වාතය හා ජලය ඇති රටවලින් 5 වන තැනෙහි සිටින රාජ්‍යයයි. සුළං සහ සූර්ය බලයෙන් බලශක්තිය නිපදවන එරට පරිසර දූෂණය ඉතා අවම මට්ටමක පවතී. ගම්බදව මෙන්ම නගරබදවද හරිත පැහැ ගෙන ඇති නෝර්වේ ලොව සෞඛ්‍ය සම්පන්නම රටවලින් දෙවන ස්ථානයේ රැඳී සිටින රට ය.

 

 

මෙම ලැයිස්තුවේ තවත් ඉහළින් සිටින රාජ්‍යයන් වන්නේ ස්වීඩනය සහ ෆින්ලන්තයයි. රට තුළ නිපදවන බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය හරහා නිපදවන මෙම රාජ්‍යයන් වායුගෝලයට අහිතකර ලෙස කාබන්ඩයොක්සයිඩ් නිකුත් වීමත් සාර්ථකව පාලනය කර තිබේ. ජල, වායු දූෂණය අවම මෙම රටවල ජනතාව ඉතා සෞඛ්‍ය සම්පන්නව මෙන්ම තෘප්තිමත්ව ජීවත් වේ. එසේම මෙම රට වල පාරිසරික සුරක්ෂිතතාව කෙරෙහි රටේ රජය මෙන්ම ජනතාවත් එක ලෙස වෙහෙස වන බව දැකගත හැක. 

 

 

මීට අමතරව ඔස්ට්‍රියාව සහ ප්‍රංශයත් මෙම EPI දර්ශකයේ ඉහළින් සිටින්නේ අන් සියලු රට වලට වඩා නාගරික බැරලෝහ ඉවත් කිරීම සඳහා පිළිගත් ඉතා ඉහළ තාක්ෂණයන් යොදා ගැනීම හේතුවෙනි. තවද මෙම රටවල් කාබනික ගොවිතැන සඳහා ප්‍රමුඛතාව දී ඇති අතර රටේ 2/3 කට වඩා වැඩි වන වැස්මක් පවත්වා ගෙන ඇත. 

 

 

මෙම දර්ශකයේ පෙරමුණෙහි සිටින්නේ ලොව සුන්දරතම රට ලෙස සැලකෙන ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය යි. පරිසර දූෂණය අවම රාජ්‍යයන් වන මේවා නගර අලංකරණයට සමගාමීව පවිත්‍රතාවය කෙරෙහිද දැඩි සැලකිල්ලෙන් පසු වේ. සොබාදහමට ඉතා ලැදි ජනතාවක් සිටින මෙම රටවල පරිසර හානි වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන අවස්ථා ඉතා දුර්ලභය.

 

 

පරිසරය, සොබාදහම සුරැකීමට අවශ්‍ය වන්නේ ඒ සමග ජීවත් වන ජීවින්ගේ ආකල්ප බව මෙම ගෝලීය දර්ශකයෙන් මනාව පෙන්වා දෙයි. එසේම පරිසරයේ පවිත්‍රතාවය කෙරෙහි තාක්ෂණයේ බලපෑම හැමවිටම අහිතකර නොවන බවත් තාක්ෂණය තුළින්ම එය ළඟා කරගත හැකි බවත් එමගින් සනාථ කර ඇත.

views

474 Views

Comments

arrow-up