මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් CPU පැමිණි ගමන් මග
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් CPU පැමිණි ගමන් මග

මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් CPU පැමිණි ගමන් මග

පරිගණකය හරියටම හෝටලයක මුලුතැන්ගෙය වගේ. පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය එම මුළුතැන්ගෙයි ඉන්න කෝකියා වගේ. කෝකියා හෝටලයේ ආහාර සකසනවා වගේ මධ්‍ය සැලසුම් ඒකකය පරිගනකය තුල ඇති දත්ත සකස් කොට තොරතුරු බවට පත් කරයි. මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදුකරන අංකිත පරිපථයකි. පරිගනකය මගින් ඉටුකරන කාර්යය කුමක් වුවද ඒ ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකය පසුබිමින් ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ පරිගණක වැඩසටහනක ගබඩා කොට ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමයි. එනම් දත්ත ලබාගෙන ඒවා ලබා දී ඇති උපදෙස් වලට අනුව සැකසීමයි. මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණය කළ නොහැකි අතර එය පද්ධති ඒකකය තුළ ඇති මව්පුවරුව මත ස්ථාපිත කර ඇත. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්තර එම ප්‍රධාන කොටස් තුන වෙයි. පරිගනක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා හතරකට වර්ග කර දැක්විය හැකිය. එම පරම්පරා අනුව මධ්‍ය සැකසුම් ඒකකයේ මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

පළමු පරම්පරාව-
පළමු පරම්පරාවට අයත් කාල පරාසය වන්නේ 1940 සිට 1956 කාලයයි. මෙහිදී භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ රික්තක නල හෙවත් vacuum tubes ය. මෙහිදී රික්තක නල විශාල ප්‍රමාණයක් එනම් 18000ක් පමණ තිබූ අතර එයින් ඇතිවන තාපය මැඩපැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් ද අවශ්‍ය විය. මෙහි විදුලි පරිභෝජනයක් ද විශාල වශයෙන් සිදුවිය. පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රමාණය කාමරයක් තරම් විශාල වී ඇත. එහි ක්‍රියාත්මක වේගය ms වලින් මනින ලද අතර නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට ද සිදුවී ඇත. ENIAC, UNIVAC, EDVAC මෙවැනි පරිගණක සඳහා උදාහරණ කීපයකි.

දෙවන පරම්පරාව-
මෙහි කාලපරාසය 1956 සිට 1963 දක්වා කාලයයි. භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වනුයේ ට්‍රාන්සිස්ටරයයි. මෙහිදී සිදු වූ විදුලි පරිභෝජනය පළමු පරම්පරාවට සාපේක්ෂව යම් තාක් දුරට අඩු වූ අතර පරිගණකයේ ප්‍රමාණයද පළමු පරම්පරාවේ ප්‍රමාණයට සාපේක්ෂව කුඩා විය. මෙම පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකකයෙහි ක්‍රියාත්මක වේදය මයික්‍රෝ තත්පර වලින් මනින ලදි. එමෙන්ම එවැන්නක් මිලදී ගැනීමට විශාල පිරිවැයක් ද දැරීමට පුද්ගලයන්ට සිදුවිය. දෙවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ වශයෙන් IBM 7030, CDC 1604 පෙන්වා දිය හැකි වේ.

තුන්වන පරම්පරාව -
මෙම පරම්පරාවට අයත් කාල පරාසය 1964 සිට 1971 දක්වා කාල පරාසයයි. අනුකූලිත පරිපථ හෙවත් integrated circuits මෙම පරම්පරාවේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණයයි. මෙයට අවශ්‍ය වූ විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව අඩු වූ අතර පරිගණකයේ ප්‍රමාණයද දෙවන පරම්පරාවට සාපේක්ෂව කුඩා විය. ක්‍රියාත්මක වේගය ns වලින් මනින ලද අතර දෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ද අඩු විය. මෙවැනි පරිගණක සඳහා උදාහරණ ලෙස IBM 360, CDC 6600 නැමැති පරිගණක පෙන්වාදිය හැක.

සිවුවන පරම්පරාව-
මෙහිදී භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ ක්ෂුද්‍ර පරිපථ හෙවත් microprocessors ය. සිව්වන පරම්පරාවට අයත් කාල පරාසය වන්නේ 1971 සිට මේ දක්වා කාලයයි. මෙහිදී සිදුවන විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු වන අතර පරිගණක වල ප්‍රමාණය ද තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩායි. pico තත්පර වලින් හා MIPS මගින් ක්‍රියාත්මක වේගය මනිනු ලබයි. තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩු වන අතර මෙවැනි පරිගණක සඳහා උදාහරණ වශයෙන් නූතනයේ භාවිත වන පරිගණක පෙන්වා දිය හැක.

මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් CPU පරිගණකයේ මොළය වශයෙන් සැලකේ. පරිගණකය පරිණාමය වීමේ දී ක්‍රමයෙන් මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ද වර්ධනය වී ඇත. අනාගතයේදී අදටත් වඩා වේගවත්ව පරිගණක භාවිතා කිරීමට පුද්ගලයින්ට හැකිවනු නොඅනුමානයි. නමුත් අවශ්‍ය වන්නේ පරිගණකයට ඇබ්බැහි නොවී එදිනෙදා වැඩ කටයුතු වල පහසුව උදෙසා පමණක් පරිගණක යොදා ගැනීමයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

4177 Views

Comments

arrow-up