දිය පත්ලේ සැඟවුණු ඓතිහාසික විහාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

දිය පත්ලේ සැඟවුණු ඓතිහාසික විහාරය

දිය පත්ලේ සැඟවුණු ඓතිහාසික විහාරය

ඓතිහාසික ආගමික සිද්ධස්ථාන අතරින් කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරම විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මහා ජල තලයෙන් යටවී දශක කිහිපයක් ගෙවුණද එම විහාරයේ ප්‍රතිමා ගෘහයේ වූ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තවමත් නිසලව සිටින අයුරු වියළි කාලයේදී කොත්මලේ ජලාශය සිඳීයන විට අපට දැක ගන්න පුළුවන්.



ගැමුණු කුමරු හා වේළුසුමන යෝධයා නිතර මුණගැසුණු ස්ථානයක් ලෙසට මෙම විහාරය ජනප්‍රවාදගතව තිබෙනවා. විහාරයේ ඓතිහාසික ඉදිකිරීම් සියල්ලම හදුනාගත නොහැකි තරමටම අද විනාශ වී තිබුණත් විස්මයජනක කරුණ වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ප්‍රතිමා ගෘහයේ නටබුන් තවමත් ශේෂව පැවැතී තිබීමයි.



නිරිතදිග හා ඊසානදිග යන මෝසම් දෙකෙන්ම පෝෂණය වෙන මෙම ප්‍රදේශය ඉතා සශ්‍රීක වපසරියක් වෙනවා. කොත්මලේ ඔයේ මුළු ජලපෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 585 ක් පමණ වෙනවා. මේ වර්ෂාව හේතුවෙන් වසර පුරාවටම කොත්මලා ඔය හරහා විශාල ජල ධාරිතාවක් ගඟට එක්වී පහළට ගලා යනවා.



ඒ නිසා මහවැලි ජල ප්‍රවාහය හරහා වේල්ලක් බැඳ ජලය රැස් කිරීමට ව්‍යාපෘතියක් ඇරඹෙනවා. මෙසේ ආරම්භ වෙන පළමුවැනි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඇති වෙන්නේ 1979 දී. අධ්‍යයන රැසකට පසුව ලැබුණු තොරතුරු එක්රැස් කරමින් සිදුකළ පර්යේෂණයන්ගෙන් පසුව කඩ‍ෙදාර හා තිත්පනේ කදු යා කරමින් කොත්මලේ වේල්ල ඉදිකෙරෙනවා. රටටම විදුලිය සපයන මේ මහා වේල්ල කොතරම් වටිනා සම්පතක් වුණත් ඒ යට තිබෙන කතාන්දරය නම් සතුටුදායක නැහැ.



මේ වේල්ල ඉදිකිරීමේදී වර්ග කිලෝමීටර් 6.5 ක භූමි භාගයක් ජලයෙන් යට වී යනවා. පවුල් තුන් දහසක පමණ ජනතාවකට තමන්ගේ ගම් බිම් මේ වේල්ල ඉදිකිරීමේදී අහිමි වී යනවා. මෙසේ ජලයට යට වී ගිය විහාරයක් තමයි කඩ‍ෙදාර ශ්‍රී ප්‍රතිබිම්බාරාම විහාරය.



ඒ අයුරින් හැදුණු වැව මැදගොඩ ගංගාරාමය, මොරපේ සුභද්‍රාරාමය, මොරපේ බෝධිමාලකාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය වැනි පෞරාණික විහාර දහඅටක් වැනි ප්‍රමාණයක් ජලයට යටවෙලා යනවා. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යට වී ගිය කඩ‍ෙදාර විහාරය තවමත් නියං කාලයට ජලය සිඳී ගිය විටදී කොත්මලේ යන ඔබට දැක ගන්න පුළුවන්.

views

534 Views

Comments

arrow-up