කෑල්ල බලන්න යමුද?

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වර්තමානයේ අංක 206 නමින් පරිපාලනමය වශයෙන් බෙදී වෙන්වී පවතින “කෑල්ල”, කෑල්ලගම, කෙහෙලියගම යන නම් වලින් හඳුන්වන මෙම ගම්මානය අතීතයේදී ඉතා සුන්දර වූ පාරිසරික පොහොසත් කමින් අනූන වූ ප්‍රදේශයකි.
ශ්‍රී ලංකාවට ලෝක උරුමයක් වූ අමිල අගයකින් යුත් සිංහරාජ වනාන්තරයට යාබද ගොන්ගල කන්දේ නැගෙනහිර බෑවුමේ රමණීය පරිසරයක පිහිටි මිටියාවත, කෑල්ල (කෑල්ලගම) ලෙස හැඳින්වේ.
ගොන්ගල කන්ද ආශ්‍රිත වූ භූමි භාගයෙන් ආරම්භ වී තවත් දිය උල්පත් සමග එක්වී ‘හේයස්’ වතුයාය සහ කබරගල කන්ද, හේනගොඩ කන්ද අතරින් පැමිණ කෑලිකන්ද හරහා ගලා එන සීතල වූ ජලධාරාවෙන් යුක්ත මකුළුතොට ඔය අසබඩ දැකුම්කලු උස් භූමි භාගයක ඓතිහාසික කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරය ද පිහිටා ඇත.
“කෑල්ල” නමින් පටබැඳි මේ ගමට බස්නාහිරින් ගොන්ගල කන්දද, නැගෙනහිරින් වළල්ගොඩ නම් ඉපැරැණි ගම්වරයද, දකුණු දෙසින් කෝප්පකන්ද සහ උතුරු දෙසින් බුත්කන්දෙන්ද, මායිම්ව පිහිටා ඇත.
ප්‍රදේශයට ආවේණික වූ සියොතුන්ගේ ගී නාදයත්, මීමැසි, බමර සමූහයාගේ ගුමු ගුමුවත් සමග බැඳුණු සමනලුන් නිසා පරිසරය ඉතා ශෝභාවත් වී ඇත. ගෝන, මුව ආදී සිව්පාවුන්ද රිසි සේ සැරිසරා ඇති බවටද තොරතුරු බොහෝය.
එමෙන්ම මිලක් ගණනය කළ නොහැකි වටිනා දැව සහිත වෘක්ෂයන්ගෙන් මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවට අවැසි ඖෂධ වර්ගයන්ගෙන්ද ගහණය වූ මෙම ඓතිහාසික “කෑල්ල” නම් ගම්මානය විවිධ පලතුරු වර්ගයන්ගෙන්ද පිරී ගොස් තිබූ බවද පැහැදිළිය.
533 Views
Comments