ශ්‍රී පාද අඩවියේ දිය ඇලි හත බලන්න ගියාද?

“ඇලි හත” කියන්නේ සාමාන්‍ය ජන සමාජයෙන් දුරස්ව සැඟවී පිහිටා ඇති රමණීය සුන්දර ස්ථානයක්. සංචාරකයන් අතර එතරම්ම ජනප්‍රිය නැති ඇලි හත නම් මේ දිය ඇලි කිහිපය එක් පසකින් ශ්‍රී පාද ස්වාභාවික රක්ෂිතයට මායිම්වන අතර දැරණියගල, මාලිබොඩ නම් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.
එක දිගට ඇලි හතක් ලෙස ඇද හැලෙන මේ අපූරු දිය ඇලි හත පටන් ගන්නේ ශ්‍රී පාද අඩවියේ ඇති නාය ගඟෙනි. සමනල අඩවියෙන් ආරම්භ වී පහළට ඇද හැලෙන මේ ගඟ සීතාවක ගඟ හා සම්බන්ධ වී පසුව කළු ගඟට එක්වනවා.
ඇලි හත දැකබලාගන්නට ගන කැලේ මැදින් ඉහළට යන ගමන ඉතාම අපහසු වගේම අනතුරුදායක ගමනක්. ඕනෑවට වඩා බඩු අරගෙන යන්නේ නැතිව අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අරගෙන යනවා නම් ඔබේ ගමන තවත් පහසු වනවා.
පළමුවැනි ඇලි තුනෙන් පස්සේ එතැනින් එහාට යන්න හරියට පාරක් නැහැ. කැලේ අස්සෙන් පාර හදා ගෙනයි මේ ස්ථානයට ළඟා වන්නට සිදුවන්නේ. තුන්වැනි ඇල්ලට යනතුරුම පොඩි අඩි පාරක් තිබුණත් මේ තෙත් බිම ඉක්මනින් කැලේ වැවෙන නිසා ඒ පාරවල් ඉක්මනින් මැකී යනවා.
ඇල්ල දිගේම උඩට යන්නේ නම් එක ඇල්ලක්වත් මඟ නොහැර සියලුම දිය ඇලි ටික බලා ගන්නට හැකිවනවා. නමුත් නැවත පහළට බසිද්දී ඇල්ල දිගේම පහළට බසින්නේ නැතිව කැලේ මැදින් බසින්නට හැකි මාර්ගයක්ද වනවා. කැලේ මැදින් වැටී ඇති මේ මාවත තවත් අපූරු ගමනක් වන්නේ එහි ඇති විශාල ගස් සහ ගැවෙසෙන කුඩා සතුන් හේතුවෙනි. හත්වැනි ඇල්ල උඩ ඉඳලා කැලේ මැද්දෙන් පහළටම බසින්නට පැය 03 ක හෝ 04 ක කාලයක් ගතවනවා.
604 Views
Comments