පපඩම් සමෝසා

බොහෝ දෙනා ඉන්දියානු කෑම වර්ග වලට ප්‍රිය කරනවා. ඒවාගේම පෝෂණ ගුණයෙනුත් අඩුවක් නම් නෑ. ඉතින් අද අපි ඔයාලට ගෙනාව මේ රෙසපිය ටිකක් විතර අමුතු ආකාරයක් ගන්නවා. ඒ ඉන්දියානු කෑමක් වන සමෝසා, පපඩම් යොදා ගනිමින් සාදා ගැනීමයි. පපඩම් තෙලේ බැදලා ගන්න විතරක් නෙමෙයි මේ වගේ ආහාර වලටත් ගන්න පුළුවන් ඔන්න.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ලොකු පපඩම් කිහිපයක්
- තම්බාගත් අල
- මාළු, සැමන් හෝ ඔබ කැමති මාංශ වර්ගයක්
- සිහින්ව ලියාගත් ළූණු
- මිරිස් කුඩු
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- සුප් කැටයක්
- සිහින්ව ලියාගත් කරපිංචා ස්වල්පයක්
- ග්‍රේට් කරගත් කැරට් ස්වල්පයක්
- බැද ගැනීමට තෙල්
- රස අනුව ලුණු
සාදන ආකාරය,
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්කරගන්න. මාළු හෝ සැමන් කුඩා කැබලි වලට කඩා තෙලට දමා තෙම්පරාදු කරගන්න. එයට ළූණු, කරපිංචා දමා කලවම් කරමින් මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සුප් කැටයක් දමා කලවම් කර ඊළඟට කැරට් ටික දමා මද ගින්නේ හැඳිගාන්න. අවසානයේ තම්බා පොඩිකරගත් අල ටික දමා හොඳින් මිශ්‍රණය සකස් කර ගන්න. මෙය පිරවුම සඳහා භාවිතා කෙරේ. ඔබට කැමති ආකාරයක වෙනස් පිරවුමක් කැමැත්ත පරිදි සකස් කරගන්නට හැකියාව තිබෙනවා. මීළඟට ඔබ භාජනයකට ජලය දමා පපඩම් ටික පෙගෙන්නට හරින්න. විනාඩි 10 ත් 15 ත් අතර මෙය ජලයෙන් පිටතට ගන්න. නැත්නම් පපඩම් පෙගිලා වැඩි වෙනවා. දැන් මේ පපඩම් ලෑල්ලක් මත අතුරමින් පෙර සාදාගත් පිරවුම මැදට යොදා මෙය ත්‍රිකෝණාකාර ලෙස නවා ගත යුතුයි. එහිදී ඔබට නැම්ම ගැලවීම වැළැක්වීමට කුඩා ඉරටු කැබලි හෝ එසේත් නැත්නම් පාන්පිටි ඉතා ස්වල්පයක් ජලය දමා දියකර උකු මිශ්‍රණයක් සකසා ගෙන එය දාර වලට ගාගෙන අලවාගන්නටත් පුළුවන්. මෙයින් සමෝසා බැදෙන විට මැද පිරවුම ගැලවී විසිරී යාම වළකනවා. දැන් තාච්චියක් ලිප තබා ගෙන එයට තෙල් දමා මේ සාදාගත් පපඩම් සමෝසා එකින් එක බැදගන්න. තක්කාලි සෝස් හෝ ඔබ කැමති වර්ගයක සෝස් සමග පිළිගන්වන්න. ඉතා පහසුවෙන් අඩු කාලයකදී සාදගත හැකි සමෝසා එකක රස විදින්න.
by Kaushalya De Silva
1118 Views
Comments