"මං ගැන විශ්වාසයක් තියන, ගෙදර අය කැමති කෙනෙක් සහකරු වෙන්න ඕන" - හිරුෂි වසුන්දරා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

"මං ගැන විශ්වාසයක් තියන, ගෙදර අය කැමති කෙනෙක් සහකරු වෙන්න ඕන" - හිරුෂි වසුන්දරා

"මං ගැන විශ්වාසයක් තියන, ගෙදර අය කැමති කෙනෙක් සහකරු වෙන්න ඕන" - හිරුෂි වසුන්දරා

ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින් කලා ලොවට ආ හිරුෂි පසුව අවුරුදු කුමරි තරගයකින් ජය ගන්නවා. නැවත ඇය අපිට සමීප වෙන්නේ නම් පුංචි තිරයේ නිර්මායෙන්. සැබෑ සුන්දරත්වයක් හිමි සොඳුරු යුවතියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ. මේ සිළුමිණ රසඳුන හිරුෂි සමඟ කළ කතාබහයි.

 

මොකද වෙන්නේ මේ දවස්වල මේ දවස් වල ?

 

අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ නාට්‍යය තමයි චනික පෙරේරා අධ්‍යක්ෂණය කරන "යක්ඛ නාද". එහි මගේ චරිතය භුමි. ඒ එක්කම අධ්‍යපන වැඩ කටයුතු තමයි.

 

අපි කලාවේ ආරම්භය ගැනත් මතක් කරමු ?

 

මම කලාවට එන්නේ 2007 වසරේ දී ළමා නිවේදිකාවක් විදියට එන්නේ සිරස නාළිකාවේ පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින්. ඊට පස්සේ නිවේදන කටයුතු කළා අවුරුදු හතරක් විතර. අධ්‍ය­ාපන කටයුතු වලට මුල් තැන දෙන්න ඕනේ නිසා නිවේදන කටයුතු තාවකාලිකව නතර කළා. උසස් පෙළ කරන්න කලින් සිරස FM හි නිවේදිකාවක් විදියට කටයුතු කළා. උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාල කටයුතු නිසා කලා කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ. ආයෙමත් කලාවට ආවේ අහම්බෙන්. ඒ අවස්ථාව ලැබෙන්නේ 2018 වසරේ දෙරණ රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත්තායින් පසුව.

 

දැන් නිවේදනය සම්පුර්ණයෙන්ම අත්හැරලා ද ?

 

සම්පුර්ණයෙන්ම අත්හැරලා නැහැ. පුංචි කාලේ ඉඳන් ආස වුණු දේ සහ මම වැඩියෙන් හුරුවුණු කලා ක්ෂේත්‍රය නිවේදන කලාව. පාසලේදී වුණත් කථික තරග සහ නිවේදන කටයුතු වලට තමා වැඩියෙන් දායක වෙලා තියෙන්නේ. ඒ නිසා නිවේදනය කියන්නේ මට ගොඩක් සමීප දෙයක්. නමුත් අද වෙද්දී නිවේදන කලාවට අමුතු භාෂා රටාවන් වලට හුරුවෙලා තියෙනවා. නමුත් මම ඒ දේවල් වලට කැමති නැති නිසා එවැනි ඉල්ලීම් බාරගත්තේ නැහැ. එහෙම නැතුව සිංහල බසට හානියක් නොවෙන නිවේදන ශෛලියක නිවේදන කටයුත්තකට සම්බන්ධ වෙන්න නම් කැමැත්තෙන් ඉන්නවා.

 

 

දැන් රංගනයට ද වැඩි නැඹුරුවක් තියෙන්නේ ?

 

මම රංගනයට ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ 2009 අවුරුද්දේ රාවණා අඩවිය කියලා ජාතික රූපවාහිනියේ විකාශය වුණු නාට්‍යයේ ප්‍රධාන ළමා නිළියගේ චරිතයෙන්. ඊට පස්සේ පාසල් කාලය තුළ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ඕනේ කියලා හිතලා තිබුණේ නැහැ. හැබැයි 2018 අවුරුද්දේ "නිස්සරණ පොහොය" ටෙලි චිත්‍රපටයකින් රංගන කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනවා. එතනින් පස්සේ ටෙලි චිත්‍රපට හතක් අටක් වගේ රංගනයෙන් දායක වුණා. දීර්ඝ නාට්‍යය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දෙරණ නිෂ්පාදනය කළ "පාවෙලා වලාකුළේ ඒවිද අම්මා" ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස සහ ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ "ටීචර් අම්මා" ටෙලි නාට්‍යයේ "සයොනාරා ටීචර්" ලෙස. එහෙම බැලුවම මැතක නිවේදන කටයුතු නොකළ නිසා සහ එක ටෙලි නිර්මාණයක් ඉවර වෙද්දී තව නිර්මාණයක් ලැබෙන නිසා මේ වෙද්දී රංගනය එක්ක කියලා කියන්න පුළුවන්.

 

සිනමාවට කොහොමද ආරාධනා ලැබිලා තියෙනවද ?

 

සිනමා ආගමනය කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒක ලැබෙන ඕනෙම නිර්මාණයක් බාරගෙන දැන් මම සිනමා නිළියක් කියන තැන මම නැහැ. මොකද ටෙලි නාට්‍යයක රඟපානවට වඩා සිනමා රංගනය වෙනස්. ඒ නිසා මට දැනෙන චරිතයක් නොලැබුණු නිසා ආරාධනා ලැබුණු නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වුණා. සිංහල චිත්‍රපට දෙකකට වගේ තමා ආරාධනා ආවේ වැඩි හරියක්ම ලැබුණේ මලයාලම් සිනමා නිර්මාණවලට. මේ වෙද්දී මට දමිළ නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා සාකච්ඡා මට්ටමේ පවතිනවා.

 

ඒ කියන්නේ හිරුෂිට දෙමළ බස හසුරුවන්න පුළුවන්ද ?

 

මට දමිළ බස ලියන්න සහ ලියලා තියෙන දෙයක් කියවන්න පුළුවන්. දමිළ භාෂාවේ තියෙන්නේ ලියන එකයි කතා කරන එකයි දෙකක්නේ. ඒ නිසා කතා කරන්න ඒ භාෂාවේ හුරුව ගන්න නම් දෙමළ සහෝදරයින් ආශ්‍රය කරන්නම ඕනේ. මේ දවස් වල ඒ ගැනත් අවධානයෙන් ඉන්නවා. හැබැයි පවතින කොරෝනා තත්වය එක්ක මේ අවුරුද්දේ ඇතුළෙ නම් මම හිතන්නේ නැහැ මේ නිර්මාණ පටන් ගනී කියලා. ඒ නිසා කල් යයි.

 

 

එතකොට අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ මොන අංශයෙන් ද ?

 

මම මේ වෙද්දී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ නීතිවේදී උපාධියේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. ඒ එක්කම මම පරිගණක ගුරුවරියක් විදියට වැඩ කරන නිසා ඒ පැත්තෙනුත් ඉගෙනීම් කටයුතු කරනවා.

 

ඒ කියන්නේ හිරුෂි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් නැද්ද ?

 

මම හිතන්නේ නැහැ ලංකාවේ පවතින වාතාවරණය එක්ක වෘත්තියමය රංගන ශිල්පිනියක් විදියට පවතින්න පුළුවන් කියලා. අනික් අතට වෘත්තියක් විදියට කරනවා නම් අපිට ලැබෙන ඕනෙම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ. මම කොහොමත් සිමා ඇතිව තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ඒ නිසා මම කවදාවත් හිතුවේ නැහැ වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. මොනවද හිරුෂිගේ සිමා මම අනවශ්‍ය විදියට ඇඟ නිරාවරණය වන ඇඳුම් අදින චරිත සහ මම අකැමති වචන දෙබස් තියෙන චරිත වලට අකැමති වෙන අවස්ථා තියෙනවා.

 

හිරුෂි එන්න එන්නම ලස්සන වෙනවා නේද ?

 

මම හිතන්නේ එන්න එන්නම වයසට යනවා. මම අවුරුදු කුමරිය විදියට එද්දී ලස්සන ලොකු කොණ්ඩයක් තිබ්බා. මම තමයි ඒ තරගයේ සුන්දරම කේශ කල්‍යාණියට හිමි ජයග්‍රහණය පවා ලැබුවේ. දැන් නම් කොණ්ඩෙ යන්නත් පටන් අරන්. එහෙම බැලුවම එන්න එන්නම ලස්සන වෙනවා කියන්නත් අමාරුයි. හැබැයි මම හිතන්නේ ඉස්සරට වඩා මම ප්‍රේක්ෂක‍යන්ට ළං වෙනවා ඔවුන්ට ආදරය වෙනවා. ඒ ආදරය මටත් දැනෙනවා. විශේෂයෙන්ම පුංචි දරුවන්ගෙන් ලොකු ආදරයක් මට ලැබෙනවා. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් හිතේ සතුටින් මම ඉන්නවා. ඒ හිතේ සතුට මුහුණෙන් පෙන්වා ඇති.

 

මොනවගේ කෙනෙක් ද ජීවිතේට හොයන්නේ ?

 

ඒක මගෙන් මීට අවුරුදු පහකට කලින් අහද්දී මම කියපු දේයි, අද මම කියන දේයි වෙනස්. මොකද කාලයක් යද්දී අපි මුහුකුරා යද්දී අදහස් වෙනස් වෙනවා. ඒ නිසා මේ වෙද්දී මම කැමති මගේ ගැන විශ්වාසයක් තියෙන, දෙන්නා අතරේ ගෞරවය රැකගන්න කෙනෙක්, අපේ ගෙදර අය කැමති වෙන කෙනෙක් සහකරු වෙන්න ඕනේ කියන එක. ඉස්සරහට තව වෙනස් වෙන්න පුළුවන්.

 

 

 

 

 

 

 

 

 

 

Silumina News Papper

Rasaduna

views

2948 Views

Comments

arrow-up