“අපේ හීන ඔක්කොම කඩාගෙන වැටුණා” - ජපානයේදී පහරදී මරා දැමූ ශ්‍රී ලාංකික කාර්මිකයා ගැන බිරිඳ කියන සංවේදී කතාව

ශ්‍රී ලාංකික පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ජපානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගියදා පහරදී ඝාතනය කර දැමූ ශ්‍රී ලාංකික කාර්මික ශිල්පියා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන ලෙස ඔහුගේ බිරිඳ හා ඥාතීහු අදාළ අංශවලින් ඉල්ලා සිටී.
පාතහේවාහැට දමුණුගොල්ල ගම්මානයේ පදිංචිව සිටි එම්. ජී. උපුල් රෝහණ ධර්මදාස නමැති(45) වියැති දෙදරු පියෙකු මෙලෙස ඝාතනය කර තිබිණි.
එම කර්මාන්ත ශාලාවේම සේවයේ නියුතු තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමඟ හටගත් ගැටුමකින් පසු තම ස්වාමිපුරුෂයාට පහරදී බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බවට තමන්ට එම ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිතයන් දැන්වූ බව මියගිය උපුල් රෝහණගේ බිරිය අනෝමා රූපසිංහ (44) සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අනෝමා රූපසිංහ,
‘“මගේ ස්වාමිපුරුෂයා මීට වසර තුනකට පෙර ජපානයේ කර්මාන්ත ශාලාවක කාර්මික ශිල්පියකු ලෙස පිටත්ව ගියා. අකුරණ ප්‍රදේශයේ ආයතනයක අයිතිකාර මහත්තයා මගේ ස්වාමිපුරුෂයාගේ වැඩ ගැන පැහැදිලා තමයි ජපානයේ පිහිටි එම ආයතනයේ රැකියාවට යොමු කළේ. ලක්ෂ දෙකහමාරක වැටුපක් ලබාදෙන පොරොන්දුව මතයි සේවයට එකතු වුණේ. මහත්තයාගේ මාසික වැටුප රුපියල් අසූදහසක මුදලක් පමණයි. මටයි දරු දෙදෙනාටයි ලැබුණේ. එම මුදල් අකුරණ ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ ආයතනයේ ප්‍රධානියා මඟින් අපට ලැබුණා. ඉතිරි මුදල් අවුරුදු තුනක සේවය නිම කරලා ලංකාවට එනකොට ලබාදෙන බවට තමයි මහත්තයා මට කියලා තිබුණේ.
සේවය අවසන් කරලා මේ මාසේ ලංකාවට ඇවිල්ලා භාගෙට හදලා තියෙන ගේ වැඩ අවසන් කරලා දුවලා දෙන්නගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරන්න මහත්තයාගේ බලාපොරොත්තුවක් තිබුණා. අවුරුදු තුනක් හොඳටම දුක් වින්දා. ඉදිරි කාලයේ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා තමයි කතා කරන හැම වෙලාවෙම එයා කිව්වෙ. ඒත් අපේ බලාපොරොත්තු හීන ඔක්කොම කඩාගෙන වැටුණා. යැයි අනෝමා රූපසිංහ හැඬ කඳුළින් කීවාය.
අවුරුදු 13 හා 9 වයස්වල පසුවන දියණියන් දෙදෙනාම සිය පියාගේ වියෝවත් සමඟ දැඩි කම්පනයට පත්ව සිටිති. එම ඝාතනය සම්බන්ධයෙන් එක් ශ්‍රී ලාංකික පුද්ගලයකු මේ වන විට එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි තමන්ට නිල නොවන මට්ටමෙන් දැනගන්නට ලැබී ඇතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් හෝ එරට ක්‍රියාත්මක ඉදිරි නීතිමය තත්ත්වය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව උපුල් රෝහණ මහතාගේ බිරිය හා ඥාතීහු වැඩිදුරටත් සඳහන් කරති.
ජපානයේ සිට දේහය මෙරටට රැගෙන ඒමට හා ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කර ඔහුගේ බිරිය හා කුඩා දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් යම්කිසි පියවරක් ගැනීමට මැදිහත් වන ලෙස ඥාතීහු අදාළ අංශවලින් ඉල්ලීමක් කරති.
690 Views
Comments