2021 වර්ෂයේ දී වාහන ආනයනය නැවත ආරම්භ වෙයිද? වාහන මිළ නැවත අඩුවෙයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

2021 වර්ෂයේ දී වාහන ආනයනය නැවත ආරම්භ වෙයිද? වාහන මිළ නැවත අඩුවෙයිද?

2021 වර්ෂයේ දී වාහන ආනයනය නැවත ආරම්භ වෙයිද? වාහන මිළ නැවත අඩුවෙයිද?

වසරකදී මෙරටට ගෙන්වනු ලබන රථවාහන ප්‍රමාණය 10 000 කට අධිකය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව 2019 වර්ෂයේ දී පමණක් මෙරටට ගෙන්වන ලද රථවාහන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 800කට අධික වෙයි. එය 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ ඉහළ අගයක් ගන්නා ලදී . 2020 වර්ෂයේ මුල් මාස හය සඳහා පමණක් වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 273 ක් වියදම් කර ඇති බව මහ බැංකු නවතම දත්ත පෙන්වා දී තිබේ. 2020 වර්ෂයේ දී ඇතිවූ කොවිඩ් වසංගතය නිසා රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරන ලදී. එමගින් රජයේ අරමුණ වූයේ මෙරට මුදල් විදේශයන්ට ගලායාම නවතාලීමයි. නමුත් එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස මෙරට පැවැති රථ වාහනවල මිල අසාමාන්‍ය අයුරින් ඉහල යාමට පටන් ගැණුනි.

 

එමෙන්ම එවකට ශ්‍රී ලංකාව තුළ පැවැති වාහන තොග ද අවසන් වීම හේතුවෙන් අලුතින් වාහන මිලදී ගැනීමට සිටි බොහෝ දෙනා බොහෝ අසීරුතාවයන්ට මුහුණ දී ඇත. එමෙන්ම වාහන ආනයනකරුවන් ද දැඩි ආර්ථික පසුබෑමකට ලක් වී ඇත. එම නිසා වාහන නැවත ආනයනය සම්බන්ධව ආනයනකරුවන්ගෙන් රජයට අලුත් යෝජනා මාලාවක් ඉදිරිපත් වි ඇත.

 


අඩු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් වැඩි බද්දක් රජයට අය කරගත හැකි ආකාරයෙන් මෝටර් රථ ආනයන කිරීම වෙනුවෙන් නියාමනයක් සකස් කර රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ මෝටර් රථ ආනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් මේ වන විට රට තුළ වාහන මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කළ වාහනවලින් 90% ක්ම මේ වන විට අලෙවි වී ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ අනාවරණය කරයි. වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයක් යන තුරු සිදු නොවනු ඇතැයි පාරිභෝගිකයන් අපේක්ෂා කිරීම ඊට හේතු වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. මේ හේතුවෙන් වාහනවල මිළ ගණන් ක්ෂණිකව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ ගොස් ඇති බවද ආනයනකරුවෝ පෙන්වා දෙති.

 


එමෙන්ම වාහන ආනයනය නතර වීම නිසා සුඛෝපභෝගී වාහන ආනයනය මගින් රජයට වාර්ෂිකව ලැබෙන විශාල බදු ආදායමක් අහිමි වීම යාමද,  ශ්‍රී ලංකාවට වක්‍රාකාරව ලැබෙන ඇතැම් ආදායම් මාර්ගයන්ද රථ වාහන ආනයනය සීමා වීම නිසා නතර වී යාම ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී නැවතත් දැඩි සීමාවන් යටතේ වාහන ආනයනය ආරම්භ කිරීමට රජය සැලසුම් කරන බව ආරංචි මාර්ග මගින් අනාවරණය වී ඇත. එහිදි පරිසර හිතකාමි ඉලෙක්ට්‍රික් මෝටර් රථ හා හයිබ්‍රිඩ් මෝටර් රථ ගෙන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ යැයි අපේක්ෂිතයි. කෙසේ වෙතත් නැවත වාහන ආනයනය ආරම්භ කිරීමේදී වාහන වල දැන් පවතින මිල අඩු වේ යැයි අපේක්ෂා කළ නොහැක. ඊට හේතු වනුයේ මෙම සීමාවන් ලිහිල් කිරීමේ දී ආනයනකරුවන් විසින් විශාල වශයෙන් නැවත වාහන ගෙන්වීමට පටන් ගන්නා බැවින් නැවත වරක් විදේශයන්ට ඇදී යන මුදල් ප්‍රමාණය ඉහළ යාමට හැකිවීමයි. එම නිසා වාහන ආනයනය සීමා කර ගැනීම සඳහා රජය විසින් තවත් බදු වර්ග කිහිපයක් වාහන ආනයනයේදී එක් කිරීමට ඉඩකඩ ඇත. මෙනිසා රථ වාහනවල මිල දැන් පවතින තත්වයේම වෙනස් නොවී පවතී යයි අපේක්ෂා කළ හැක.


කෙසේ වුවද වත්මන් රජය විසින් පරිසරය කෙරෙහි දක්වන සුබවාදී ආකල්පය නිසා පරිසර හිතකාමි හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ සඳහා පනවා ඇති බදු ඉන්ධන භාවිතා වන රථ වාහනවලට සාපේක්ෂව යම් අගයකින් අඩු වේ යැයි අපේක්ෂා කළ හැකියි. එයින්ද ඉලෙක්ට්‍රික් වාහන සඳහා විශාල  වෙළඳපොළක් ලංකාව තුළ නිර්මාණය වී නොතිබීම නිසා හයිබ්‍රිඩ් වාහන  සඳහා ඉල්ලුමක් පවතී.  ඉලෙක්ට්‍රික් වාහන වලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වාහන වල මිල අවම මට්ටමක පැවතීමත් හා අනෙකුත් පහසුකම් පහසුවෙන් සපයා ගැනීමට හැකි වීමත් නිසා තවමත් ලංකාව තුළ හයිබ්‍රිඩ් වාහන සඳහා හොඳ ඉල්ලුමක් දේශීය වාහන වෙළඳපොළ තුල පවතී. මේ හේතුවෙන් අනාගතයේ දී ආනයනය කරනු ලබන හයිබ්‍රිඩ් වාහන සඳහා යම් තාක් දුරට බදු සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

views

1940 Views

Comments

arrow-up