තෙල් ගහන්න යතුරුපැදියේ ගිය පියපුතු දෙදෙනා බූතයාගේ හැපෙයි - පුතා එතැනමයි, පියාටත් බරපතළයි

ඉන්ධන ලබාගැනීමට මරදන්කඩවල ඉන්ධන පිරවුම්හලේ තෙල් පෝලිමට පෙරේදා(30) රාත්‍රියේ යතුරුපැදියකින් යමින් සිටි පිය පුතු දෙදෙනෙකු, ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක පටවාගත් භූතයා නමැති ගොයම් කපන යන්ත්‍රයක ගැටී 41 හැවිරිදි පුතු එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ඉපලෝගම සාන්තගම පදිංචි යූ. පී. චමිල නිරෝෂණ නැමැති 41 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු සේවකයෙකු බව පොලිසිය කියයි.
මියගිය නිරෝෂණ, තම පියා සමඟ ඉපලෝගම සාන්තගම සිට මරදන්කඩවල දක්වා තම යතුරුපැදියෙන් පෙරේදා රාත්‍රියේ පැමිණ ඇත්තේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳී සිට පෙට්‍රල් ලබාගැනීමටයි.
ඒ අතරතුර රාත්‍රි 7.30ට පමණ මරදන්කඩවල දම්පැලැස්සාගම තැපැල් කාර්යාලය අසලදී විරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටරයක පටවාගත් භූතයා ගොයම් කපන යන්ත්‍රයක ගැටී ඇති බවත් එම ට්‍රැක්ටර් රථයද කැකිරාව ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් ලබාගෙන නැවත පල්ලේකාගම දෙසට ගමන් කරමින් සිට ඇතැයිද ඉපලෝගම පොලිසිය සඳහන් කරයි.
මෙහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් පුතු මියගොස් සිට ඇති අතර බරපතළ තුවාල ලැබූ පියා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මොවුන් ගමන්ගත් යතුරුපැදියේ ප්‍රධාන විදුලි ලාම්පුව අක්‍රීය වී තිබූ නිසා විදුලි පන්දමක් ආධාරයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි ද පොලිසිය කීය.
එම නිසා විරුද්ධ දෙසින් පැමිණ ට්‍රැක්ටර් රථයේ තිබූ භූතයා යන්ත්‍රය හරියාකාරව නොපෙනීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක පහළ කරයි.
290 Views
Comments