"පැණි ධම්මිකගේ" සහෝදරයෙක් කොවිඩ් උත්සන්න වීමෙන් මිය යයි

කොවිඩ්-19 සඳහා දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි පසු ගිය කාලයේ ප්‍රසිද්ධියට පත්ව සිටි කෑගල්ලේ, උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
ඔහු කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නමැති 58 හැවිරිදි විවාහක තිදරු පියෙකි.
ඔහු ගලනාල පිළිකාවකට ද ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර 12 වන දා නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු බව අප වාර්තාකරු පැවසීය.
පසුව කෑගල්ල, නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේ (53469) යන නිලධාරියා පසුදා නිවසට ගොස් දේහය කෑගල්ල මහ රෝහලට වැඩිදුරට පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරුව කෑගල්ල මහ රෝහලේදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වුණු බවය.
පසුව පශ්චාත් මරණ පරීක්ෂණය 13 වන දා කෑගල්ල මහ රෝහලේදී සිදු කර ඇත.
එහිදී ඔහු කෝවිඩ් නිව්මෝනියාව හෙතුවෙන් මිය ගොස් ඇති බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඥාතීන්ට ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (14) සවස සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදු කර ඇත.
1075 Views
Comments