පශු වෛද්‍යවරයා ළඟට යන මුවාවෙන් ගවයාගේ පාදයක් කපා මසට දක්කාගෙන ගිය නරුම කාන්තාවෝ

මස් කිරීම පිණිස එක් පාදයක් කපා දමන ලද ගවයකු ඇතුළු ගවයින් දෙදෙනකු හොර කැලෑ පාරකින් දක්කා ගෙන යමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු වයෝවෘද්ධ පුද්ගලයකු අල්ලා කන්දකැටිය පොලිසියට භාරදීමට මීගහකිවුල ශ‍්‍රී සුභද්‍රාරාමවාසී විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ ප‍්‍රදේශවාසී තරුණ පිරිසක් කටයුතු කළහ.
ගවයින් දෙදෙනා රැගෙන යෑම සඳහා ව්‍යාජ බලපත‍්‍ර දෙකක් ද මොවුන් විසින් සකස් කරගෙන තිබුණි.
ගවයා ප‍්‍රතිකාර සඳහා පශු වෛද්‍ය කාර්යාලය වෙත රැුගෙන යන බව ඒත්තු ගැන්වීමට දක්කා ගෙන යෑම පහසු කර කරවීම සඳහා ගව හොරුන් විසින් එක් ගවයකුගේ පාදයක් කෲර ලෙස කපා තිබිණි.
සිදුවීම විස්තර කළ මීගහකිවුල සුභද්‍රාරාමවාසී ඇල්ලන්දේ සුගුණවංශ හිමියෝ,
වෙලාව රාත‍්‍රී 10.00 ට පමණ ඇති. ස්වාමීන් වහන්සේලා බණ මඩුවට වෙලා පාඩම් කරමිනුයි හිටියේ. ඒ අවස්ථාවේ තමයි විහාරස්ථානයේ ඉන්න බල්ලො ටික බුරාගෙන ගිහිල්ලා මෙම පිරිස වට කරගත්තේ.
අපි ඒ වෙලාවේ එතැනට ගිහින් බලද්දි පාදයක් කපන ලද ගවයෙක් සහ තවත් හොඳින් වැඩුණු ගවයකු පිරිසක් දක්කා ගෙන යනවා දැක්කා.
පාදය කැපූ ගවයගෙ කකුලෙන් ලේ බේරෙමින් තිබුණා. ඊට පස්සේ අපි කරුණු හොයලා බලද්දි අපිට තේරුම් ගන්න පුළුවන් වුණා මේ අය කොහේ හරි දුර පළාතකින් හරක් හොරකම් කරගෙන මේ කැලෑ පාරෙන් හරක් ටික එහා පැත්තේ කැලේට අරන් යන්නේ මරන්න බව.
ඊට පස්සේ තරුණ පිරිසටත් කතා කරලා අපි ගවයින් දෙදෙනා බේරගෙන මේ පිරිස පොලිසියට භාර දීමට කටයුතු කළා. එක පුද්ගලයෙක් අපිට අල්ල ගන්න බැරිව ගියා.
මෙතන විශේෂම සිද්ධිය තමයි මේ වැඬේ කරපු අයගෙන් දෙන්නෙක් කාන්තාවෝ වීම. අනිත් පුද්ගලයා අවුරුදු 65-70 විතර වෙන පිරිමියෙක්.
කොහොම වෙතත් මේ විදිහේ හොරකම් මේ ප‍්‍රදේශයේ දිගින් දිගටම සිද්ධ වෙනවා. අහිංසක සත්තු කැලේට ගෙනිහින් මරා දාලා මස් විකුණනවා.
මේක කරන පිරිසට මීට කලිනුත් නඩු තුන හතරක්ම වැටිලා තියෙනවා. නමුත් හරි ක‍්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්න නැහැ.
පහුගිය දවසක බලගොල්ල පැත්තෙත් හරක් දෙන්නෙක් මරා දාලා තිබුණා.
හම විතරයි ඉතිරි කරලා තිබුණේ. හරක් හොරු හොයා ගන්න පොලිසියට බැරි වුණා.
ඉදිරියේදීවත් මේවා නවත්තන්න නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
පොලිසියට භාර දුන් පිරිස කන්දකැටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පැවසී ය.
840 Views
Comments