මල් ආනයනය සීමා කෙරේ.....
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

මල් ආනයනය සීමා කෙරේ.....

මල් ආනයනය සීමා කෙරේ.....

මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේ දී සීමා කෙරේ. මේ සදහා මල් වගාකරුවන් දිරිමත් කර මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලුම්පත් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන්ව පෙළඹවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සුවහස් මල් එකමුතුව සංවිධානය කළ “සියනෑ මල් වසන්තය 2020” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව සදහන් කළේය. ප්‍රදර්ශනය ගම්පහ නගර සභා පිටියේ දී පැවැත්විණ.

අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ මල් අපනයන ආදායම ඉහළ නැංවීමට රජය සුදානම් බවයි. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතට උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව යොමු කිරීම හේතුවෙන් වගාකරුවන්ට වාසි රැසක් ලැබෙන බව ද ඔහු කීවේය.

දිවයිනපුරා දිස්ත්‍රික්ක 25 තුළම මෙම මල්වගාකරුවන්ගෙන් සැදුම්ලත් සුවහස් මල් සමිති පිහිටුවා තිබේ. මල් වගාකරුවන් 200කට අධික පිරිසක් මෙම සමිතිවල සාමාජිකත්වය ලබා ඇත. 2008 වසරේ දී ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මල් විදෙස් රටවලින් දිවයිනට ගෙන්වා තිබේ. 2012 දී විදෙස් රටවලින් දිවයිනට යොමු කළ මල් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 26000 කි.

2017 වසරේ දී ඩොලර් 65000 ක මල් මෙරටට ගෙන්වා තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී කියා සිටියේ ය. මෙලෙස වැඩි වශයෙන් මල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ඒ පිච්චමල් බව ද ලේකම්වරයා කීවේය.

ලංකාවෙන් මල් විදේශයන්ට යැවීමේ (අපනයනයේ) ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2008 වසරේදීත් ඒ ඩොලර් අටලක්ෂ දාහත් දහසකි. 2018 වසරේ දී එය මල් අපනයනයෙන් මෙරටට ලැබීමට හැකිව ඇත්තේ ඩොලර් 150,000 ක මල්ය. ඉදිරි වසර කීපය තුළ මල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් දසලක්ෂය දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කරගෙන ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා කීවේය.

මල්වගාකරුවන් සදහා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය මල්පැළ හා සෙසු ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සදහා රුපියල් මිලියන 23 ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් කිවේය.

 

views

976 Views

Comments

arrow-up