සාමකාමී අරගලේට යුද හමුදාව කරන දේ ගැන යුද හමුදාපති කතා කරයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

සාමකාමී අරගලේට යුද හමුදාව කරන දේ ගැන යුද හමුදාපති කතා කරයි (PHOTOS)

සාමකාමී අරගලේට යුද හමුදාව කරන දේ ගැන යුද හමුදාපති කතා කරයි (PHOTOS)

සාමකාමී මහජනතාවට බාධාවන අයුරින් කිසිදු ක්‍රියාකාරකමක් සිදුකිරීමට ඊටඅනුබල දීම හෝ ඒ සඳහා සූදානම් වීමක් යුද හමුදාවේ නොමැති බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී,යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේය.

 

වෘත්තීයමය හමුදාවක සාමාජිකයන් වශයෙන් විටින් විට ප්‍රචාරය වන පදනම් විරහිත අසත්‍ය කටකතා, චෝදනා සහ ඇතමුන් විසින් ගොතන ලද ප්‍රකාශ හමුවේ අප නොසැලී කටයුතු කිරීම ඉතාම වැදගත් බවත් එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව සෑම විටම රාජ්‍යය සහ මහජනතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප බැඳී සිටිමට කටයුතු කළ යුතු බවද යුද හමුදාපතිවරයා මෙහිදී  සදහන් කළේය


යුද හමුදාපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව මෙන්න

 

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් අප සෑමවිටම මෙරට ජනතාව සහ ඔවුන්ගේ යහපත පිණිස කටයුතු කරනු ලබනවා. ඒ වාගේම, වර්තමානයේ ඇතැම් ප්‍රකාශයන්හි සඳහන් පරිදි කිසි විටෙකත් කිසිදු පුරවැසියෙකුට පීඩාවක් හෝ හානියක් සිදුවන ආකාරයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව කටයුතු නොකරන බව අවධාරණය කළ යුතුයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී මාතෘභූමියත්, එහි වාසය කරන සියලු ශ්‍රී ලාංකික ජනතාවත්, ඔවුන්ගේ දේපළත් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බැඳීසිටින බව” යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කරන ලදී.

“අන් කිසිවෙකුට සිදුකළ නොහැකි ඕනෑම භාරදූර කාර්යයක් ඉටුකිරීමටත්, ජීවිත අවධානම නොතකා ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදෙමින් රටේත් එහි ජනතාවගේත් සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමේ හැකියාවක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම මානව සම්පත වන අප හට එම හැකියාවන් රටේ යහපත වෙනුවෙන් ඵලදායීව යොදාගැනීමේ මහඟු වගකීමක් නිරන්තරයෙන් පැවරෙනවා.”

“එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සෑමවිටම අනෙක් හමුදාවන් හා එක්ව රටේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා පෙරමුණගෙන කටයුතු කරන අතර, එහිදී යුද්ධ හමුදාව සඳහා වෙනත් න්‍යායපත්‍රයන් හෝ සැඟවුණු අරමුණු නොමැති බවත් වර්තමානයේ යම් යම් පාර්ශවයන් විසින් පදනම් විරහිත නිශ්ඵල චෝදනාවන් ත්‍රිවිධ හමුදාව වෙත එල්ල කිරීමේ ප්‍රවණතාවයක් පැවතුණද එවැනි චෝදනා ඉතා උපේක්‍ෂාවෙන් දරා සිටීමේ හැකියාවක් අප සතුවනවා.”

“මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සියලුම යුද්ධ හමුදා හා අනෙකුත් හමුදාවල සාමාජිකයින් විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ අපරිමිත කැපකිරීම බුද්ධිමත් අප ශ්‍රී ලාංකීය ජනතාව කිසිදා අමතක නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම, ඕනෑම ව්‍යසනයකදී, කරදරයකදී හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් අප රටේත්, එහි ජනතාවගේත් සහ ඔවුන්ගේ දේපළවලටත් සිදුවිය හැකි විනාශයන්ගෙන් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථානුකූල වගකීමක් අපසතුව ඇති බව ඔබ සියලුදෙනා මතක තබාගැනීම ඉතා වැදගත්.”

“පසුගිය කොවිඩ් - 19 වසංගත සමයේදී තමන්ගේ දෙමාපියන්, දූ දරුවන් සහ පවුලේ සාමාජිකයින් පවා භීතියෙන් සිටින විටත් ඇතැම් විට ඔවුන් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින විටදීත් ඒ අවධානම පවා නොතකමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, ආසාදිතයින් සහ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම, නිරෝධායන මධ්‍යස්ථානවලට පහසුකම් සැලසීම, දීප ව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහන් සිදුකිරීම සහ ඒ අයට ප්‍රතිකාර කිරීම තුළින් ඉතා ආරක්‍ෂාකාරී සහ සෞඛ්‍යාරක්‍ෂිත වාතාවරණයක් රට තුළ ඇතිකිරීමට හැකියාව ලැබී ඇති බව ප්‍රකාශ කළයුතු අතර, ඉදිරියේදීත් එවන් ඕනෑම කැපකිරීමක් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකිරීමට අප නිරතුරුව කැපවී සිටිය යුතු බව ඔබ ඉතා හොඳින් වටහාගත යුතුයි.”

 

 

 

 

 

 

views

728 Views

Comments

arrow-up