පුතුගේ අනාගතය ගැන සිහින මැවූ තාත්තා බන්ධනාගාරයේ සිට සුසම් හෙළයි - “මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි තාත්තා හරිම අහිංසකයි.. ඥාතියෙක් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

පුතුගේ අනාගතය ගැන සිහින මැවූ තාත්තා බන්ධනාගාරයේ සිට සුසම් හෙළයි - “මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි තාත්තා හරිම අහිංසකයි.. ඥාතියෙක් කියයි

පුතුගේ අනාගතය ගැන සිහින මැවූ තාත්තා බන්ධනාගාරයේ සිට සුසම් හෙළයි - “මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි තාත්තා හරිම අහිංසකයි.. ඥාතියෙක් කියයි

මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන පාඩම්වලට සම්බන්ධ නොවීම හේතුවෙන් පියා කළ තරවටුවක් නිසා මෙලොව හැරගිය 16 හැවිරිදි ගිම්හාන් විමුක්ති සිසුවාගේ අවසන් කටයුතු පසුගිය දා සිදුවිය.

 

කොරෝනා ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ ඔන්ලයින් හරහායි. එනමුත් ඇතැම් දරුවන් විවිධ හේතු මත ඒවාට උනන්දුවක් නොදක්වයි.

 

එලෙස පාඩම් වැඩවලට උනන්දුවක් නොදැක්වූ දරුවෙකුට පියෙකු දුන් දඬුවමක් හේතුවෙන් සිදු වූ ඛේදවාචකයකි.

 

පාඩම්වලට සම්බන්ධ නොවීම හේතුවෙන් පියා කළ තරවටු කිරීමෙන් තම පුතා මියගිය පුවතක් නිසා ගාල්ල දඩල්ල සියඹලාගහවත්ත ප්‍රදේශය පමණක් නොව මුළු රටම දැඩි ශෝකයෙන් ඇළලී ගියේය.

 

එම නිවසෙහි එක් රැස්ව සිටි ජනතාව පැවසුවේ ප්‍රදේශයේ කවුරුත් හඳුනන අහිංසක තාත්තා කෙනෙක් අතින් මෙහෙම දෙයක් වුණේ කෙසේදැයි යන්න මුමුනමිණි.

 

පසුගිය 29 වැනිදා තම පියාගේ කොසු මිටක තරවටුවකින් හිසේ හිරිවැටීමක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවා කවුරුත් නොසිතූ අන්දමින් 30 වනදා අළුයම මෙලොව හැර ගියේය.

 

මෙසේ මියගොස් තිබුණේ උසස් විද්‍යාලයක සාමාන්‍ය පෙළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර ඔහු නමින් එස්. ඒ. ගිම්හාන් විමුක්තියි. 

 

තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවෙන්නා වූ විමුක්තිට අයියා කෙනෙක් සහ නංගී කෙනෙක් සිටියි.

 

විමුක්තිගේ පියා 49 හැවිරිදි වන අතර ඔහු මේ තරවටුව කළේ තම පුතාගේ අනාගතය ගැන ඇති බලවත්වූ බලාපොරොත්තු නිසාමය. 

 

එහිදී අදහස් දැක්වූ ඥාතියෙකු වන වීරක්කොඩි මහතා ඒ පිළිබඳව මෙසේ කීවේය.

 

“මේ නැතිවෙලා තියෙන්නේ මගේ අක්කගේ දුවගේ පුතා. පුතා ඔන්ලයින් ගියපු නැති නිසා තාත්තා සැර කරලා, පොඩ්ඩක් තරවටු කරලා තියෙනවා.

හෙමින් පිටට ගහලා තියෙන්නෙ, එතකොට ඉතිං අනේ... ඔළුවට වැදිලා තියෙනවා.

මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. තාත්තා හරිම අහිංසකයි.

මේ කතාකරන වෙලාවෙත් තාත්තා පොලීසියේ ඉන්නේ.. පුතා මියගියා කියලා එයා දන්නේ නැහැ.” 

ඔහු හැඬූ කඳුළින් පැවසුවේය.

 

ගිම්හාන් විමුක්ති තම මවට පවසා ඇත්තේ පියාගේ තරවටුවෙන් පසු තම හිස හිරිවැටී ඇති බවයි. ඒ අනුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

 

තම පියා නිතර ගිම්හාන්ට පවසා ඇත්තේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසටයි. 

 

එහෙත් ගිම්හාන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා නොමැති අතර ඒ අනුව පියා විසින් කොසු මිටකින් තරවටු කර තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස සිදුවුයේ කිසිවෙකු නොසිතූ දෙයකි.

 

සැකකාර 49 වැරදි පියා ගාල්ල පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔක්තෝබර් 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප‍්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 

 

ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය සභාපතිවරයා මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. 

 

“මොන ආකාරයේ දඬුවමක් වුණත් තමා කරේ එය හොඳ චේතනාවෙන් වුණත් එහි ඇතිවන ප‍්‍රතිඵලය ඉතාම නරකයි.

ළමයින්ට දඬුවම් කිරීම සීයයට දෙසීයක් වැරදියි. ඒ වෙනුවට කළ යුත්තේ ශික්ෂණයම පමණයි.” යනුවෙනි.

 

මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ කතා අසන්නට දකින්නට ලැබේ. පියා පිළිබඳව ඇතැමෙක් සානුකම්පිකව කතා කරන අතර තවත් පිරිසක් පියා වැරදි යයි පවසයි. 

 

මේ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. මෙම සිද්ධිය මුළුමහත් සමාජයටම යමක් කියාදෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

views

2164 Views

Comments

arrow-up