විස්කි බෝතල් ‘කන්ටේනරයක්’ වතුර වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

විස්කි බෝතල් ‘කන්ටේනරයක්’ වතුර වේ

විස්කි බෝතල් ‘කන්ටේනරයක්’ වතුර වේ

බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට යැයි පවසා රේගුව මුළා කරමින්, රජයේ තීරු බදු ගාස්තුවලින් නිදහස්ව මාලදිවයිනෙන් මෙරටට ගෙන්වන ලද ‘විස්කි’ බෝතල් පැටවූ කන්ටේනරයක් සීදූව ප්‍රදේශයේ ගුදමක රඳවා තබා තිබියදී එකී මද්‍යසාර වතුර බවට පත්ව තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා.

2018 වසරේදී මෙරටට ගෙන්වන ලද එකී මද්‍යසාර ප්‍රමාණය ඉහත කී ස්ථානයේ තිබූ අඩි 40ක් දිගැති බහාලුමක් තුළ තිබූ පෙට්ටි එක්දහස් එකසිය හැත්තෑ නවයක් තුළ ලීටරයේ බෝතල් 15 බැගින් අඩංගුව තිබූ බවද ඒ මහතා පැවසුවා.

එම බහාලුම තුළ තවත් හඳුනා නොගත් ද්‍රව්‍යයන් අඩංගු ලීටර් දෙසීයේ බැරල් විස්සක් තිබුණු බවද ඉහත කී මද්‍යසාර 2019 වසරේ නොවැම්බර් මස නැවත ප්‍රතිඅපනයනය කරන බව පවසමින් රේගුව මුළා කරමින් ගෙන්වා ඇති බවට කරුණු අනාවරණය වන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළා.

එහි තිබූ ලීටර් එකොළොස් දහස් දෙසිය පනහක් පමණ වන මද්‍යසාර නැවත ප්‍රතිඅපනයනය කරන බවට ඒවා මෙරටට ගෙන්වන ලද ආයතන විසින් රේගුව දැනුවත් කර තිබුණද දීර්ඝ කාලයක් තිස්සේ එය ප්‍රතිඅපනයනය කිරීමට අදාළ ආයතන පියවර නොගැනීම නිසා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ලබාගෙන ඔවුන් රේගුව වෙත ගෙන්වාගෙන ප්‍රකාශ ලබාගත් බවද ඒ මහතා කියා සිටියා.

ඉන් අනතුරුව එම බහාලුම් පරික්ෂා කිරීමේදී එහි තිබිය යුතු මද්‍යසාර වෙනුවට ඉහත කී පරිදි වතුර බෝතල් තිබී සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ මෙම මද්‍යසාර ප්‍රමාණය ලියාපදිංචි කර ඇති බව කියන පුද්ගලයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කරන බවත් මේ සම්බන්ධයෙන් එම මද්‍යසාර මෙරටට ගෙන්වීමට කටයුතු කළ ආයතන හතක පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මේ සම්බන්ධයෙන් දීර්ඝව විමර්ශන සිදුකරන බවත්ය.

තීරුබදු නොගෙවා ගෙන්වන ලද එම මද්‍යසාර දේශීය වෙළෙඳපොළට මුදාහැර ඇති බවට සැක කරන බවද පවසන ඒ මහතා තවදුරටත් පවසන්නේ මේ වංචනික ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 40ක පමණ බදු ආදායමක් අහිමිව ඇති බවත්ය.

 

views

883 Views

Comments

arrow-up