කොස්තාපල්ට පහරදුන් අය ස්ථානාධිපතිගේ වෙඩි පහරින් මරුට

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට කැත්තකින් පහරදී බරපතළ තුවාල කළ පුද්ගලයෙකු මෙල්ල කිරීමට ගිය පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජීව අත්බෝම්බයකින් පහරදීමට උත්සාහ කිරීමේදී ස්ථානාධිපතිවරයා විසින් තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ මානානහේන තල්ගස්පේ පදිංචි ප්‍රසන්න විජේවර්ධන නැමති 38 හැවිරිදි අයෙකි.
මොහුට විරුද්ධව ඇති පැමිණිල්ලක් විභාග කිරීමට දිවා මුර සංචාරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 78812 කරුණාරත්න නිලධාරියා පසුගිය(23) දහවල් ඔහුගේ නිවසට ගොස් ඇත.
පොලිස් නිලධාරියා විසින් පැමිණිල්ල සම්බන්ධ විමසීමේදී මොහු පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණවැදී නිවසේ තිබූ කැත්ත රැගෙනවිත් ඔහුට පහරදී තිබේ.
මෙම පුද්ගලයා පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදියටද පොලුවලින් පහරදී අලාභහානි සිදුකොට ඇත.
ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්කර ගෙන ඇති අතර මේ පිළිබඳ 1990 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
පසුව පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ පැමිණි පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතාට කැත්තෙන් පහරදී ඇත.
මොහුගේ කැත්ත කැඩියෑමෙන් පසු පොලිස් නිලධාරීන්ට ජීව අත්බෝම්බයකින් පහරදීමට උත්සාහ කොට ඇති අතර එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැකකරුගේ උදරයට වෙඩි තබා ඇත.
තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයෑමෙන් පසු පෙරේදා(23) රාත්‍රියේ මියගොස් ඇත.
කැති ප්‍රහාරවලට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා හා පොලිස් පරීක්ෂකවරයා බරපතළ කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර වෙඩිවැදීමෙන් මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු හා අපචාර දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අයකු බවද පොලිසිය කියයි.
මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිතුමා විසින් විමර්ශන සිදුකරණු ලැබේ.
259 Views
Comments