අරගලයට වැට බඳින්න පොලිසිය උල් බැරිකේඩ් දමයි - කළු පොලිතින්වලින් උල් බැරිකේඩ් වසා උගුල් අටවලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

අරගලයට වැට බඳින්න පොලිසිය උල් බැරිකේඩ් දමයි - කළු පොලිතින්වලින් උල් බැරිකේඩ් වසා උගුල් අටවලා

අරගලයට වැට බඳින්න පොලිසිය උල් බැරිකේඩ් දමයි - කළු පොලිතින්වලින් උල් බැරිකේඩ් වසා උගුල් අටවලා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඊයේ (24) පැවැත්වූ විරෝධතා පාගමන ගාලුමුවදොර ජනඅරගල ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් ඒ අවට ප්‍රධාන මාර්ගවල ස්ථිර මාර්ග බාධක ඉදිකර ඒවාට යකඩ උල් සහිත බාධක ද එක්කොට ඒවා ඉටිකවරවලින් ආවරණය කර සහාසික ලෙස සකසා තිබීම විශේෂත්වයක් විය.

 

ඒ අනුව කොටුව ජනාධිපති මාවත, කොළඹ ලෝටස් පාර, ලේක් හවුස් වටරවුම, යෝක් වීදිය සහ කොල්ලුපිටිය වටරවුම අසල ජී. අයි. බට යොදා වෑල්ඩින් කර සකස් කළ ස්ථිර මාර්ග බාධක යොදා තිබුණි. ඊට අමතරව කටු කම්බි යොදා සකස් කළ මාර්ග බාධකද යොදා තිබූ අතර ඒවායෙහි කටුකම්බි නොපෙනෙන ලෙස කළු ඉටි රෙදි වලින් ආවරණය කර තිබුණි.

 

 

මෙම මාර්ග බාධක නිසා එම මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇනහිට තිබුණි. ජනතාවටද එම මාර්ග ඔස්සේ පයින් හෝ ගමන් කිරීමට නොහැකි විය.



කොටුව පොලිසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව විරෝධතාකරුවන්ට අද (25) පෙරවරු 9.00 දක්වා මෙම මාර්ගවලට ඇතුළුවීම වළක්වාලීම සඳහා මෙලෙස ස්ථිර මාර්ග බාධක යෙදීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

 

 

කොටුව මහෙස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් නියෝගය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වෙත කොටුව පොලිසිය ඊයේ පෙරවරුවේ බාරදුන්නේය.

 

 

ඒ අනුව විරෝධතාකරුවෝ සිය පාගමන කොටුව දුම්රියපළ අසලින් දහවල් ආරම්භ කර ටෙක්නිකල් හන්දිය, මරදාන ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කර කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

 

 

පස්වරු 4.30 ට පමණ විරෝධතාකරුවෝ විජේරාම මාවතට පැමිණියහ. එම අවස්ථාවේදී අගමැති නිල නිවස අසල පොලිසියේ විශාල පිරිසක්



රැකවල්ලා සිටි අතර උද්ඝෝෂකයෝ පැමිණ විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

 


ඉන්පසු උද්ඝෝෂණයේ නිරතවූ පිරිස් කොළඹ කොටුව දෙසට ගමන් කරන්නට වූහ.



විරෝධතා පාගමන පැමිණීම වළක්වාලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ග බාධක යොදා තිබුණද එම ප්‍රදේශයේ පිහිටි හෝටල් සහ අනෙකුත් ආයතන වල සේවකයන්ට සහ ඔවුන්ගේ රථවාහන වලට යෑමට අවසර ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබුණි.



පොලිසිය යොදා ඇති ස්ථිර මාර්ග බාධක අද පෙරවරුවේ ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.



විරෝධතා පාගමන නිසා රාජ්‍ය දේපළවලට හානි සිදුවිය හැකි බැවින් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා විසින් පෙරේදා (23) එය ප්‍රතික්‍ෂේප කර තිබුණි.

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී පෙන්වාදී තිබේ.

views

667 Views

Comments

arrow-up