කඩුවක් අමෝරාගෙන දියත උයනට පැන්න මාල හොරා යකා නටයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

කඩුවක් අමෝරාගෙන දියත උයනට පැන්න මාල හොරා යකා නටයි

කඩුවක් අමෝරාගෙන දියත උයනට පැන්න මාල හොරා යකා නටයි

කඩු කිනිසි අතැතිව, යතුරු පැදියකින් ගොස් බත්තරමුල්ලේ දී තරුණියකගේ රන් මාලයක් කඩාගෙන පුද්ගලයන් භීතියට පත්කර පලායෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පොලිසිය, යුද හමුදාව සහ අවට පිරිස් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ (01) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

 

අත්අඩංගුවෙන් බේරීමට සැකකරුවකු කඩුවක් අතින් ගෙන දියත උයනට පැන එහි සිටි පිරිස් බිය ගන්වා පලා යෑමට උත්සාහ ගත් අවස්ථාවේ පොලිසිය, හමුදාව, අවට පිරිස් මීටර් 500 ක් පමණ දුර සැකකරු හඹාගොස් පොල්දූව පාලම අසල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

 

මෙම කොල්ලකරුවන් දෙදෙනා ඊයේ පෙරවරුවේ යතුරු පැදියෙන් ගොස් තියුණු ආයුධ පෙන්වා කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවත්, තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පාරේ නිවසකින් රුපියල් 10,000 ක මුදලක් කොල්ලකා, තවත් අපරාධ කිරීම සඳහා පන්නිපිටිය මාර්ගයේ සිට බත්තරමුල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කර ඇති බවත් පොලිසිය කියයි.

 

සැකකරුවන් බත්තරමුල්ල සෙත් සිරිපාය ආසන්නයේ දී ඊයේ පෙරවරු 8.00 ට පමණ මව සමග පාර මාරු වෙමින් සිටි තරුණියකගේ රන් මාලය කඩාගෙන පොල්දූව මංසන්ධිය දෙසට ගමන් කර ඇති බව පොලිසිය පවසයි.



පන්නිපිටය පාරේ පිහිටි කොළඹ දකුණ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධිය දැක පලායමින් සිටි සැකකරුවන්ගේ යතුරු පැදියේ අංකය ඒ අවට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට රේඩියෝ පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

 

බත්තරමුල්ල පොල්දුව ආසන්නයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු එම පණිවිඩය අනුව මෙම අංක සහිත යතුරුපැදිය දැක ඒ සම්බන්ධයෙන් පොල්දූව මංසන්ධියේ රථවාහන රාජකාරියේ නිරත රථවාහන පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

පොල්දූව මංසන්ධියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම දැනුම්දීම මත මාර්ග වසා දමා වේගයෙන් පලා යමින් සිටි කොල්ලකරුවන් සහිත යතුරු පැදිය පොල්මංදුව මංසන්ධියේ දී කොටු කරගෙන ඇත.

 

යතුරු පැදිය කොටුකරගෙන එය පැදිකරු ද සමග අත්අඩංගුවට ගැනීමත් සමග එම යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් අනෙක් සැකකරු ඔහුගේ පය පාමුල සඟවාගෙන සිටි කඩුවක් ද අතින් ගෙන දියත උයනට දිව ගොස් තිබේ. 

 

පාර්ලිමේන්තු දිනයක් වූ ඊයේ (01) දිනයේ පාර්ලිමේන්තු මාර්ගයේ ආරක්ෂාවට පොලිස් හා හමුදා නිලධාරීන් විශාල පිරිසක් යොදවා සිට ඇති අතර, ඒ අනුව සැකකරු ඔවුන්ගෙන් බේරීම සඳහා දියත උයනට දිවගොස් ඇති බව ද පොලිසිය ආරංචි මාර්ග කියයි.

 

සිද්ධිය වන අවස්ථාවේ දියත උයනේ ද විශාල පිරිසක් සිට ඇති අතර, සිද්ධියෙන් එහි සිටි පිරිස භීතියට පත්ව ඇති බව ද කිසිවකු සැකකරුට ළඟාවීමට බියෙන් සිටි බවද පොලිසිය පවසයි.  සැකකරු පොලිසියෙන් බේරීමට පිරිස භීතියට පත් කරමින් කඩුවක් අතින් ගෙන දියත උයන හා අවට ප්‍රදේශය පුරා දිව යන අන්දම දකුණු ඉන්දීය චිත්‍රපට දසුනක සිරි ගෙන තිබිණි. 

 

හමුදා හා පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පසුපස හඹාගොස් ඇති අතර, මාර්ගයේ අවට පිරිසක් ද ඔවුන් සමග එක්ව සැකකරු පසුපස මීටර් 500 ක පමණ දුරක් හඹා ගොස් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

views

235 Views

Comments

arrow-up