තාත්තා රිළවුන්ට තැබු වෙඩිල්ල වැරදී දුව තුවාල ලබා රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

තාත්තා රිළවුන්ට තැබු වෙඩිල්ල වැරදී දුව තුවාල ලබා රෝහලට

තාත්තා රිළවුන්ට තැබු වෙඩිල්ල වැරදී දුව තුවාල ලබා රෝහලට

රිළවු රංචුවක් පලවා හැරීමට පියා වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් වැදීමෙන් තුවාල ලැබූ 17 හැවිරිදි දියණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙණිය පොලිසිය පවසයි. 

 

මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ පිංදෙණිය පොලිස් වසමේ අරුග්ගමන  ප්‍රදේශයේ පදිංචිව සිටින 17 හැවිරිදි තරුණියක බව ද පොලිසිය පැවැසීය.

 

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය ඉකුත් 14 වැනිදා දහවල් සිය නිවෙසේ ඇති දැඩි කරන බල්ලා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී රිළවු රංචුවක් පිට වත්තක සිට තරුණියගේ ගෙවත්තට පැමිණ ගස් ගෙඩි කා විනාශ කර දමමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.



එම අවස්ථාවේ දී තරුණියගේ පියා නිවෙසේ සිට ඔහුට අයත් වායු රයිෆලය ගෙන මිදුලට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ රිළවුන් දෙසට දිව ගිය බල්ලා අල්ලා ගැනීමට තරුණිය දිව ගොස් තිබෙන බවත් පරික්ෂණවලින් හෙළි වී යැයි පොලිසිය කියයි.

 

තරුණියගේ පියා රිළවු රංචුව දෙසට වායු රයිෆලයෙන් එල්ල කළ වෙඩිල්ලක් දිව යමින් සිටි දියණියගේ ඉනෙන් පහළ ප්‍රදේශයට වැදී ඇති බවත් පොලිසිය පැවසීය.

 

තුවාල ලැබූ දියණිය පියා විසින් ත්‍රීරෝද රථයකින් පිංදෙණිය තොරණගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිය දී වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.



කෑගල්ල මහ රෝහලේ දී තරුණියට ශල්‍යකර්මයක් පෙරේදා 15 වැනිදා සිදු කර ඇති අතර රෝගියාගේ තත්වය බරපතළ නොවන බව පොලිසිය පැවසීය. මෙහිදී තුවාලකාරිය පොලිසියට කියා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු අවශ්‍ය නැති බව යැයි ද පොලිසිය කියයි.

views

183 Views

Comments

arrow-up