දරු ප්‍රසූතියෙන් දින 4කට පසු කොරෝනා ආසාදිත මව මරුට - “ආසාදිත බව දැනගෙන ගෙදර යවපු නිසයි ඇය මියගියේ” සැමියාගෙන් චෝදනා

කොවිඩ් 19 ආසාදිතව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි එක්දරු මවක් තම දෙවන දරුවා ප්‍රසූතකර දින හතරකට පසු මියගොස් තිබේ.
සියඹලාණ්ඩුව, බුද්ධම-ගලයාය පදිංචි ටී.එම්. ඉන්දිකා දිල්හානි නැමති තිස් දෙහැවිරිදි දෙදරු මවක් මෙලෙස මියගොස් ඇත.
ඇය සැප්තැම්බර් 13 වැනි දින අසනීපවී සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කොට ඇති අතර එදිනම සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.
පසු දින ඇගේ ටිකට් කපා නිවසට යවා ඇති නමුත් පසුව ඉකුත් 18 වැනිදා ඇයගේ අසනීප තත්වය වැඩිවී නැවත මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ.
22වැනි දින සිසේරියන් සැත්කමකින් සිඟිත්තියක් බිහි කර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා(26) මියගොස් තිබිණ.
ඇගේ මරණය පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී ඊයේ(27) පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇයගේ සැමියා වන ඒ.එම් නුවන් රසික පුෂ්පකුමාර (33) මෙසේ පැවසීය.
“අපි දෙන්නට අවුරුදු දොළහක වැඩිමහල් දියණියක් සිටිනවා.
මගේ බිරිඳ දෙවෙනි දරුවා බිහිකරන්න සූදානමින් සිටියා. මාස කිහිපයක් ඇය සායනවලට ගියා. ප්‍රදේශය පුරා කොවිඩ් රෝගය පැතිරී යන නිසා සායනයට නොඑන ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාව කිවා. මගේ බිරිඳට දරුවා ලැබීමට දිනදී තිබුණේ ඔක්තෝබර් 08.
මම කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන නිසා බිරිඳගේ මවට කියා සිටියා බිරිඳට යම් අසනීපයක් ඇතිවුවහොත් රෝහලට රැගෙන යන්න කියලා.
සැප්තැම්බර් 13 වැනිදා බිරිඳ මට කෝල් එකක් දීලා කිව්වා මට ටිකක් අසනීපයි අම්මා එක්ක සියඹලාණ්ඩුව රෝහලට යන බව.
සියඹලාණ්ඩුව රෝහලට ගොස් සිටි ඇය නැවත කෝල් එකක් දීලා කිව්වා මොණරාගල රෝහලට මාරු කරන බව.
14වැනි දින දහවල් බිරිඳ කෝල් එකක් දීලා කිව්වා රෝහලේදී සිදු කළ පරීක්ෂණයේදී ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදිත බැව් හෙද නිලධාරිනියක් පැවසූ බව.
අද ටිකට් කපනවා ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව ඇය ගෙදර යනවා කියලා කිව්වා.
නැවත සැප්තැම්බර් 18 වැනි දින ඇය කෝල් එකක් දීලා කිව්වා ආයෙ අමාරුයි කියලා. අම්මා සමඟ මොණරාගල මහ රෝහලට යන බව කිව්වා.
නැවත 22වැනිදා බිරිඳ කෝල් එකක් දීලා කිව්වා දරුවා සිසේරියන් සැත්කමකින් ගන්නා බව වෛද්‍යවරු කිවුවා කියලා. ඊට පසුව බිරිඳ මට කතා කළේ නැහැ.
මම වාට්ටුවට කතා කරන විට කිව්වා මගේ බිරිඳ දියණියක් ප්‍රසූත කළ බව. පෙරේදා බිරිඳගේ අම්මා මට කෝල් එකක් දීලා කිව්වා බිරිඳ මියගිය බව.
ඒ අනුව මම ඊයේ 27දා රෝහලට ආවා. මගේ බිරිඳ පළමුවෙන්ම රෝහලට පැමිණි අවස්ථාවේදී නතර කරගෙන දිගටම ප්‍රතිකාර කළා නම් බොහෝ විට ඇයගේ ජීවිතය බේරාගන්න තිබුණා. කොවිඩ්වෛරසය ආසාදනයවී ඇති බව දැනගෙන ගෙදර යවපු නිසයි රෝගී තත්වය උත්සන්නවී ඇය මෙලෙස මියගියේ.
මීට වඩා ගැබිනි මව්වරුන් පිළිබඳව සැලකිලිමත්ව රෝහල් සේවයේ නියුතු සියලූදෙනා කටයුතු කළ යුතුයි. මට කීමට ඇත්තේ එපමණයි.”
807 Views
Comments