සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළ බව රිෂාඩ් පිළිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළ බව රිෂාඩ් පිළිගනී

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළ බව රිෂාඩ් පිළිගනී

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කරන ලද්දේ තමා වන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළේය.

 

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පළමු වරට සාක්ෂි ලබාදෙමිනි.

 

කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදි සහ ජනාධිපති කොමිසමේ පොලිස් එකකයේදි සිංහල බසින් ප්‍රකාශ ලබාදී තිබු මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ දෙමළ බසින් සාක්ෂි ලබාදීමට ඉල්ලා සිටීම කැපී පෙනුනි.

 

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස්වු අවස්ථාවේදි කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

 

"ඊයේ පස්වරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් නැමැති සැකකරුව රදවා ඇති මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොවිඩ්-19 අසාදිතයින් හඳුනාගෙන තිබෙනවා කියලා. ඒ වගේම ඔහුගේ කුටිය පිරිසිඳුකරන්නාටත් කොවිඩ්-19 වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගේ PCR පරික්ෂණයක් සිදුකිරීමට සැලසුම්කර තිබිලා තියෙනවා. මෙවැනි වටපිටාවක් තුළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු හෙයින් කොමිසම තීරණය කරලා තියෙනවා මෙම සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාගන්න," යැයි ජනාධිපති කොමිසමේ සභාපති අහියාචනාධිකරණ විනිසුරුවරයා විවෘත කොමිසම් සභාවට දැනුම්දුන්නේය.

 

මෙහිදි රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ටි හබීබ් මහතා කියා සිටියේ තම සේවාදායකයා අද දින උදෑසන බන්ධනාගාරයේ සිට තමන් අමතා මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම දමිළ බසින් කළයුතු බවත් එහිදී භාෂා පරිවර්තකයෙකු අවැසිවන බවත් ජනාධිපති කොමිසමට දන්වන ලෙස ඉල්ලා සිටි බවය.

 

කෙසේ වෙතත් එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකරමින් ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ, "ඔබේ සේවාදායකයා 2020 ජුනි මස 19 දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදෙද්දි ඔහු පැහැදිලිව සඳහන්කර තිබෙනවා, "මා හට සිංහල භාෂාව කතා කිරීමට සහ තේරුම් ගැනීමට හැකියි. ඒ නිසා ප්‍රකාශ සටහන් කිරීම සිංහල භාෂාවෙන් සිදුකළාට අකමැත්තක් නැහැ කියලා. ඔහු පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදිත් සිංහල බසින් සහ ඉංග්‍රිසි බසින් සාක්ෂි දී තිබෙනවා. එබැවින් ඔබේ සේවාදායකයාට පවසන්න සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් සාක්ෂි ලබාදෙන්න කියලා. අවශ්‍ය අවස්ථාවලදි පමණක් දමිළ භාෂාව භාවිතා කරන්න කියන්න," යැයි සදහන් කළේය.

 

ඉන් අනතුරුව ද්‍රවිඩ භාෂා පරිවර්තකයෙකු කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට අන්තර්ජාලය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධකර ගනිමින් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණි.

 

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ රිෂාඩ් බදියුදීන් ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදි රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසීය.

 

තමන් එලෙස අත්සන් තැබුවා විය හැකි බවත් එය වරදක් ලෙස නොදකින බවත් මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

 

ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම මොහොමඩ් ඊබ්‍රාහිම්ව දැන සිටියාදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පසුව විමසු විට  රිෂාඩ් බදියුදින් මහතා පිළිතුරු ලබාදුන්නේ  නැහැ යනුවෙනි.

 

-අද  දෙරණ

views

720 Views

Comments

arrow-up