ස්වයං නිරෝධායන පවුල් සඳහා රු. 10,000ක් වටිනා බඩු මල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

ස්වයං නිරෝධායන පවුල් සඳහා රු. 10,000ක් වටිනා බඩු මල්ලක්

ස්වයං නිරෝධායන පවුල් සඳහා රු. 10,000ක් වටිනා බඩු මල්ලක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාසවලම ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් ඔවුන්ගේ නිවාස වෙතම නොමිලේ පිරිනැමීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාවට නංවා තිබේ.

 

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදී එළැඹි තීරණයකට අනුව බෙදාහැරීමට නියමිත මෙම බඩු මල්ල යුද හමුදාවේ සහාය ඇතිව නිවාස වෙත යැවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

 

එළවළු, පලතුරු සහ වියළි ආහාර ඇතුළත් මෙම බඩු මල්ල රුපියල් 5000 වටිනාකමකින් යුක්තව අවස්ථා දෙකකදී ලබාදෙන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 6807කට බඩු මලු ලබාදීම ඊයේ (30) ආරම්භ කළ බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

 

කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීම වෙනුවට ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000ක දීමනාව ගෙවීමේ වැඩපිළිවෙළක්ද රජය පසුගිය සතියේ සිට ක්‍රියාවට නැංවීය.

 

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පා සිටින ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 

views

959 Views

Comments

arrow-up