වැස්ස අස්සේ ඇවිත් 84 හැවිරිදි තිදරු මව මරා දමා කරාබු යුවළ කොල්ල කාලා

නිවසේ තනිව සිටි 84 හැවිරිදි වයෝවෘද්ධ තිදරු මවක් ඝාතනය කර ඇය පැළඳ සිටි රන් කරාබු යුගල ඝාතකයින් විසින් රැගෙන ගොස් ඇතැයි තලවකැලේ පොලිසිය පවසයි.
මුඛය රෙදි කැබැල්ලකින් සිරකර, රෙදි පටියකින් ගෙල සිරකර මෙලෙස ඝාතනය කර ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ උතුරුමැද කුඹුර වතුයායේ එන්. සී. කොටසේ පදිංචිව සිටි අම්මාසි මුකායි නමැති තිදරු මවකි.
ඉකුත් 08 වනදා පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ මෙම තිදරු මව නිවසේ නිදා සිට ඇති බවත්, එම අවස්ථාවේ නිවසට ඇතුල් වූ කිසියම් අයෙකු විසින් ඇය ඝාතනය කර පැළඳ සිටි රන් කරාබු යුවළ රැගෙන ගොස් ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ දරුවන් එම අවස්ථාවේ නිවසේ සිට නැති අතර එම දරුවන් පස්වරු 4.30 ට පමණ නිවසට පැමිණ මව නිදා සිටි නිසා එයට බාධා නොකර පසුව පස්වරු 6.30ට පමණ පරීක්ෂා කර බැලීමේදී මව ඝාතනය කර ඇති බවට නිරීක්‍ෂණය වීමත් සමඟ ඒ පිළිබඳ දරුවන් විසින් තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නුවරඑළිය පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ සහයෝගය ලබාගෙන අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇත.
644 Views
Comments