නොකඩවා සති දෙකක් රට ලොක්ඩවුන් කරන්න - වෛද්‍ය සංගම් 4 ක් රජයට බල කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

නොකඩවා සති දෙකක් රට ලොක්ඩවුන් කරන්න - වෛද්‍ය සංගම් 4 ක් රජයට බල කරයි

නොකඩවා සති දෙකක් රට ලොක්ඩවුන් කරන්න - වෛද්‍ය සංගම් 4 ක් රජයට බල කරයි

මේ වන විට රට පුරා පනවා ඇති සංචරණ සීමා එළඹෙන අඟහරුවාදා දිනයේදී ලිහිල් නොකර අඛණ්ඩව දින 14ක කාලයක් නොකඩවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා රජයට අවධාරණය කරනවා.

 

ඔහු ප්‍රකාශ කළේ පසුගිය සතිය තුළ දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

 

"පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්."

 

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකා රජය මෙරට විද්වත් පාර්ශවයෙන් අදහස් හෝ යෝජනා ලබා ගැනීමට ක්‍රියා නොකළහොත් ඉදිරියේදී මෙම තත්වය තව දුරටත් වඩා භයානක විය හැකි බව වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසුවා.

 

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා වේගයෙන් කඩා වැටීමට ලක් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියා. මේ හේතුවෙන් ඉදිරි දින 14 ක කාලය තුල මෙරට දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඇය පැවසුවා.

 

"දවස් තුනක ලොක්ඩවුන් එකකින් රෝගය පාලනය කළ නොහැකියි. අතරමැද්දේ නිවාඩු දින දීලා, ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට අපි රෝගය අලුතින් බෝකර හමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කළ නොහැකියි. මේ අනුව අපට හිතෙනවා දින 14ක ඇඳිරිනීතිය හෝ දැඩි සංචරණ සීමා පැනවිම මඟින් අපි සියල්ලම ගෙවල්වලට කොටුවෙන්න පුළුවන්."

 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරී වරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාව වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව මෙම අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

views

1587 Views

Comments

arrow-up