රාජකාරි පැහැර හරින නිලධාරීන් ගැන දැනුම් දෙන්න - ජනපති

දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ බලතල සහිතව ඇරඹූ කාර්ය සාධක බළකාය පවරන රාජකාරි පැහැර හරින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල නිලධාරීන් ගැන තමන්ට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.
මෙම බළකායේ අරමුණු මුදුන් පත් කිරීම උදෙසා දෙනු ලබන නියෝග, උපදෙස් පිළිපැදීම මෙන්ම සියලුම තොරතුරු හා සහාය ලබාදිය යුතු බව ජනාධිපතිවරයා සියලුම රජයේ නිලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වනවා.
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මෙම කාර්ය සාධක බළකායේ සභාපති වන අතර, මහාචාර්ය ආරියරත්න හේරත්, මහාචාර්ය ශිරන්ති හීන්කෙන්ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. සිවකුමාර්, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුළු දොළොස් දෙනකු මෙම කාර්ය සාධක බළකායට ඇතුළත් කර ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, මාර්ග, ජල පහසුකම් සැලසීම, දේශීය සැපයුම්කරුවන් දිරි ගැන්වීම, බලයලත් වෙළෙඳ ජාලයක් ඇති කිරීම, සුළු පරිමාණ ව්‍යාපාර නැංවීම හා අරමුදල් සැපයීම මෙමගින් සිදු කෙරෙනවා.
2383 Views
Comments